-

සුවමනස

මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?

♠ Posted by ආලෝකය

(මවිබිම පුවත්පතෙහි පලවු මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකොන් මහතාගේ ලිපියක් ඇසුරිනි)
තමන් බොහෝ සෙයින් ආදරය කළ පෙම්වතා/ පෙම්වතිය තමන්ගෙන් වෙන්වයාම ඕනෑම කෙනකුට දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. නමුත් මේ අත්දැකීමට බොහෝවිටම අපට මුහුණදෙන්න සිදුවෙනවා. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීමේ වේදනාව දරා ගන්න බැරි වෙනකොට එක් එක් අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ එක් එක් ආකාරවලටයි. සමහරුන් මෙහිදී දැඩි ආවේගශීලී අන්දමින් හැසිරෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා මිනීමැරුම් සිය දිවි නසා ගැනීම් වගේ දේවල් සිදුවන්නේ මේ නිසයි. කෙසේ වුවත් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණු විට මුලින්ම කළ යුත්තේ ඊට බලපෑ හේතුව හෝ හේතු හඳුනා ගැනීමයි. මේ හේතු දෙආකාරයි. එනම් බාහිර හේතු සහ අභ්‍යන්තර හේතූන්. බාහිර හේතු වශයෙන් දිලිඳුකම, සමාජීය තත්ත්වය, කුලය ආදී විවිධ දේවල් දක්වන්න පුළුවනි.
viyogඅභ්‍යන්තර හේතූන් කියන්නෙ ඒ දෙදෙනාගේ හේතූනුයි. දෙදෙනාගෙන් කාටහරි මොනයම් හෝ හේතුවක් මත අනෙකාව එපා වීම මත ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටිය හැකියි. දැන් මෙසේ එපා වීමට බලපාන අභ්‍යන්තර හේතු කිහිපයක් ගැන විමසා බලමු. වියෝ දුක අඩුකරගන්න මේ හේතු මුලින්ම හඳුනා ගත යුතුයි. දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාට අවංක නොවීම අවංක හැඟීමක් තොරව ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරන්නෙ ඒක දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් නොවෙයි. බොහෝ විටම මෙහෙම වෙන්නේ තරුණියන්ට වඩා පිරිමි අයටයි. තාවකාලික සතුටක් හෝ වෙනයම් ලාභ ප්‍රයෝජන තකා තරුණයකු ඇසුරු කරන තරුණියක් හැර සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ එය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින්. සාමාන්‍යයෙන් පිරිමි වැඩි දෙනෙක් කාලයක් ඇසුරු කරලා ඒ තරුණිය තමාට ගැළපෙන්නේ නෑ කියලා හිතුණොත් අතඅරින්න
පෙළඹෙනවා. නමුත් තරුණියක් තම පෙම්වතාගෙ කොයිතරම් වැරදි තිබුණත් ඔහු අතහරින්න නොපෙළඹෙන්නේ අපේ සමාජ ආකල්ප සහ ඔවුන් හැදුණු පරිසරය අනුව එය නරක දෙයක් සහ ලැජ්ජාවක් ලෙස සලකන නිසයි. පෞරුෂ ලක්ෂණ හා මානසික ගැටලු
සමහර තරුණියන් පුංචි දේටත් දබර කරන, තමන්ගේ පෙම්වතා නිතර බලපෑම් කරන පෞරුෂ ලක්ෂණවලින් යුතුයි. එවැනි තරුණියන් තරුණයන්ට ඉක්මනින්ම එපා විය හැකියි.
ඒ වගේම ආතති සහ ග්‍රස්ති වැනි කාංසාමය තත්ත්වයක් ඇතිවිටත් දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන් ග්‍රස්ති පෞරුෂ ලක්ෂණ කියන අයට හැමදේම ඉතාමත් පිළිවෙළටම ක්‍රමවත්ව තියෙන්න ඕනෙ. එහෙම නැති වුණාම නිතරම අනෙකා සමග දබර කරගන්නවා. තරුණියකට එවැනි ගති ලක්ෂණ ඇතිවිට තරුණයාට ඇය එපා විය හැකියි. හේතුව ඇගේ එම අන්තයට ගිය පිළිවෙළ සහ ක්‍රමානුකූල බව ඔහුට මානසික වදයක් වීමයි. ඒ වගේම ඇයට අවශ්‍ය අන්දමට පෙම්වතා සිටියේ නැත්නම් ඇයටත් ඔහු එපා වෙනවා. එවිට ඇය ඔහු අතහැරිය හැකියි. නමුත් එවැනි තරුණියක් තමන් කළ දේ ගැන පසුකලෙක පසුතැවිල්ලට පත්වෙනවා.
මේ ආකාරයට ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීමට විවිධ හේතු බලපාන අතර එම හේතු හඳුනා ගැනීම ඉතාම වැදගත්. එම හේතු නිවැරදි ලෙස හඳුනා ගත්තොත් ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටෙමින් ඇතිවන වේදනාව අඩුකර ගත හැකියි.
වියෝ වේදනාව අඩුකර ගත හැකි අනෙකුත් ක්‍රම දැන් අපි සොයා බලමු.
වියෝ දුක හඳුනා ගැනීම
---------------------------
තමන් ආදරය කළ පුද්ගලයා තමා හැර යාම ඕනෑම කෙනකුට දැඩි වියෝ දුකක් ඇතිකරවන කරුණක්. යම් හෙයකින් ආදරය කළ පුද්ගලයා මියගියොත් ඒ වේදනාව සෑහෙන කාලයක් විඳලා අන්තිමේ තුනී වෙලා යනවා. නමුත් තමන් ආදරය කළ පෙම්වතා /පෙම්වතිය තමාව අමතක කර දැමූ විට ඒ දුක නැතිකර ගන්න අපහසුයි.
වියෝ දුකේ එක් ස්වභාවයක් තමයි මුල් කාල පරිච්ජේදය තුළ නිතර නිතරම ඒ ගැනම සිහිවීම. වෙන කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. හිත හරිම උදාසීනයි. ලොකු පාළුවක් තනිකමක් සිතට දැනෙන්න පටන් ගන්නවා. මේ දුක මෙම මුල් කාලය තුළ විඳින්නම වෙනවා. නමුත් මාස තුනක් විතර ගතවෙනකොට මේ දුක ක්‍රම ක්‍රමයෙන් මගහැරී යනවා. මේ කාලය කෙසේ හෝ ගෙවා ගත්තොත් ඊට පස්සෙ මේ දුක අඩුවන බව වටහා ගැනීම වැදගත්.
ඒ වගේම සිතේ වේදනාව තද කරගෙන ඉන්නෙ නැතිව සමීපතමයකුට ඒ ගැන පවසා වේදනාව අඩුකර ගැනීම ඉතාමත් වැදගත්. එහෙම නැතිනම් තමන්ගෙ සිතට දැනෙන දේ කඩදාසියක සටහන් කිරීමෙනුත් දුක අඩුකර ගන්න පුළුවන්.
තමන්ගේ සිතේ ස්වභාවය අවබෝධකර ගැනීම
---------------------------------------------------
හිමි වූ දේට වඩා අහිමි වූ දේවල් ගැන සිතමින් දුක්වීම, ළතැවීම මනුෂ්‍ය ස්වභාවයයි. තමාට අහිමි වූ දේවල්, තමන් ලද පරාජයන්, වැරදුණු තැන් අපේ සිතේ ඉතා තදින් සනිටුහන් වෙනවා. ඒ අනුව තමන්ට අහිමි වූ පුද්ගලයා පෙර දේවල් ගැන සිහිපත් වීම වැඩියි.
සාමාන්‍යයෙන් අහිමි වූ දේවල් ගැන කනස්සලු වීම මනුස්සයන්ගේ මානසික පුරුද්දක්. ඒ බව දැන, නොලැබුණු දේවල් සහ ලැබි තිබෙන හොඳ දේවල් සංසන්දනය කිරීමෙන් මේ කනස්සල්ල අඩුකර ගත හැකියි.
කාලය
-------
කාලය බොහෝ ගැටලු විසඳීමට, වේදනා අඩු කිරීමට ඉතා හොඳ ඖෂධයක්. ඒ වගේම අහිමි වූ පුද්ගලයා දැකීමෙන් හැකිතාක් වැළකීම, ඔහු/ ඇය එවූ කෙටි පණිවුඩ, තෑගි බෝග නැවත නැවත බැලීමෙන් වැළකී හිදීම වේදනාව අඩුවන තුරුම කළ යුතුයි. මේ ආකාරයට හිත පෑරෙන හැම තැනින්ම මගහැර හිදීම කළ යුතුයි.
වියෝ දුක කියන්නෙ සිතේ ඇතිවන තුවාලයක්. ඒ තුවාලය පෑරෙන දේවලින් වගේම තුවාලය ඇති කළ පුද්ගලයාගෙන් ඈත් නොවී සිටිනතාක් වියෝ වේදනාවෙන් මිදීම අපහසුයි.
බාහිර පරිසරයට මුසුවීම
--------------------------
සිතේ කනස්සල්ල, කම්මැලි ගතිය උදාසීන බව අඩුකර ගන්න උදෑසන හිරු එළිය හොඳ ඖෂධයක්. එනිසා ස්වභාවික පරිසරය සමග සම්බන්ධ වීම, ආයාසයෙන් හෝ තමන් කලින් යෙදුණු විනෝදාංශවල නිරත වීම වැනි මේ හැම දෙයකින්ම වියෝ දුක අඩුකර ගන්න විශාල පිටිවහලක් ලැබෙනවා.
තමා මුළු හිතින්ම ආදරය කළ කෙනා අහිමි වීම විශාල දුකක් තමයි. නමුත් අමතක කරන්න එපා කලක් ගතවෙන කොට මේ දුක ටිකෙන් ටික අඩුවෙන බව. අපට අහිමි වුණේ මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා නොවන බව හැමවිටම සිහිතබා ගන්න.
************************************

ග්‍රස්ථිය හා එහි ලක්ෂණ (Obsessive Compulsive Disorder)

♠ Posted by ආලෝකය
අපට වැලදෙන කායික රෝග තරමටම මානසික රෝගද සුලබය. ගැටළුවකට ඇත්තේ මානසික රෝග කායික රෝග මෙන් බොහෝ දෙනා හදුනා නොගැනීමයි. බොහොමයක් මනසේ ඇති වන සංකූලතා කැස්ස හෙම්බිරිස්සාව මෙන් ඇති වී නැති වී යයි. නමුත් සමහර හෙම්බිරිස්සා තත්වයන් නියුමෝනියාව දක්වා නරක් වන්නා සේ මානසික රෝගද දරුණු තත්වයට පත් විය හැක. දැන් අපි බලමු මෙම ග්‍රස්ථිය කියන්නේ කුමක්ද කියල. මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණය වන්නේ. සිතට අසහනය දෙන සුලු සිතුවිලි, ආවේග හෝ රූප එක දිගටම සිතට ඒමය. මෙය සිතා වලක්වා ගැනීමටද නොහැකිය. බොහෝ විට රෝගියාට මෙය කරදයක් වේ. එම නිසා මානසික පීඩනයට ලක්වීමද එම සිතුවිලි අප්‍රසන්න බවට පත් වීමද සිදු වේ. මෙම සිතුවිලි වර්ග කීපයකි.

 1. එක දිගටම ඇති වන සිතුවිලි. (obsessional thoughts) - ඉහත සඳහන් කල අකාරයට වේ.

 2. එකම ක්‍රියාව කිහිප වරක් කිරීමට පොලඹවන සිතුවිලි. (obsessional rituals) මෙය තේරුමක් නැතිව හෝ තේරුමක් ආරූඪ කර ගනිමින් සිදු කරන ක්‍රියාවන්ය. උදා :- - ඇවිදීමේදී යම් ස්ථාන අනිවාර්‍ය්යෙන්ම පසුකර යාමට උත්සාහ කිරීම. - මේසය උඩ හෝ කාමරයේ ඇති භාණ්ඩ සිතට ඇතිවන තුරු නියමිත තැන් වල පිලිවෙලට තැබීම.( කිහිප වරක් එකම භාණඩය ඉතාමත් නිවරැදිව නියම තැන තැබීමට උත්සාහ කිරීම

 3. විවාදාත්මක සිතුවිලි (obsessional doubts / compulsions) දවසේ කරන ක්‍රියාකරකම් ගැන සැකයක් ඇති වීම, එම ක්‍රියාව කිහිප වරක් කිරීමෙන් සැකය සංතෘප්ත කර ගැනීමට උත්සාහ දැරීම. උදා :- - දොරක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම. - කරාමයක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම. - විශබීජ ඇතැහි සිතමින් බොහෝ වේලා වරින් වර අත් සේදීම.

 4. ආවේගත්මක සිතුවිලි (obsessional impulses) යම් යම් ආවේගශීලී (දරුණු හෝ ලැජ්ජා සහගත ) ක්‍රියාවන් කිරීමට මහත් අසාවක් ඇති වීම. උදා :- - ගමන් කරමින් තිබෙන රථයකින් පැනීමට සිතීම. - කුඩා දරුවෙකුට පහර දීමට සිතීම - පාලනය කර ගත නොහැකි ලෙස අසභ්‍ය සිතුවිලි සිතට ඒම. (මෙවැන් සිතිවිලි ඇති වුවද ක්‍රියාවට නොනගයි, එම සිතුවිලි ගැන ලැජ්ජා සහගත හා අප්‍රසන්න බවක් ඇති වීම පමණක් සිදු වේ.) 

5. බිය සහගත සිතුවිලි (obsessional phobias and anxiety) මනස අපහසුතාවයට පත් කරන ඉහත සඳහන් ආකාරයේ සිතුවිලි පිළිබඳ බිය ඇති වීම. එම නිසා එවැනි සිතුවිලි ඇති වන අවස්තා මඟ හැරීම. 

ඉහත සඳහන් සිතුවිලි ඇති වීමට අමතරව තවත් මේ හා බැඳුනු ලක්ෂණ දැකිය හැක. මෙම ග්‍රස්ථියෙන් පෙලෙන්නන් බොහෝ විට දවසේ බොහෝ දේවල් යම් පිලිවෙත් පෙලක් ලෙස සිදු කිරීම හා එම පිලිවෙල වෙනස් කල හොත් තමාට හානියක් සිදු වේ යැයි සිතීම. තමා තමාටම නියම කරගත් බොහෝ නීති රීති හා වැලකීම් අනුගමනය කිරීම. පරිපූර්නත්වය පිළිබඳ අධික ලෙස සැලකිලිමත් වීම, එනම් යම් වැඩක් නිම කිරීමට අනවශ්‍යය ලෙස බොහෝ වේලාවක් වැය කිරීම. එම වැඩෙහි අවසානය පිළිබඳව නොසෑහීමට පත් වීම. තමාගේ අදහස් පමණක් නිවරැදි යැයි සිතීම, අන් අයගේ උපදෙස් පිළිගැනීමට අකමැත්තක් දැක්වීම. මුරණ්ඩු ගති ලක්ෂන තිබීම. අනෙක් අයද තමාගේ අදහස් අනුගමනය කල යුතු යැයි සිතීම. ආගමික කටයුතු වල යෙදීමට බොහෝ වේලාවක් ගත විම. එහි පිලිවෙත් ඉතා පරීක්ෂාකාරීව පිලිවෙලකට සිදු කිරීමට උත්සාහ ගැනීම. මෙහිදී ආගමික භක්තියට වඩා එම පිළිවෙත් වැරදීමෙන් තමට නරකක් හෝ හානියක් වේ යයි බිය ඇති වීම. මෙලෙස දවසේ බොහෝ කටයුතු යම් සැකැස්මක් අනුව කිරීමට පෙළඹීම. යම් කටයුත්තක් කරන විට පිලිවෙල පිලිබඳ සෑහීමකට පත් නොවූ විට නැවත නැවත මුල සිට කිරීමට පෙළඹීම. වාර ගණනාවක් කිරීමෙන් විඩාවට හා කේන්තියට පත් වීමද සිදු වේ. කිසිම තේරුමක් නැති කාර්‍ය්යන් පුරුදු ලෙස කිරීමට පුරුදු වී සිටීම. උදාහරණ :-

 නිවසේ සිට පාසලට හෝ රාජකාරී ස්ථානයට යන විට, 

 යම් යම් ස්ථාන අනිවාර්‍ය්යෙන් පසු කිරීම. 

යම් ස්ථාන ලකුණු දෙස බලමින් යාම

 එකම නාම පුවරුවක් පුරුද්දක් ලෙස කියව යාම 

 හිස පීරූ පසු පනාව සෑම විටම එකම ස්ථානයක ඉතා නිවරැදිව තැබීමට උත්සාහ දැරීම

 යම් ක්‍රියාවක් වාර ගණන් කරමින් සිදු කිරීම. වාර ගණන වැරදුනු විට නැවත නැවත කිරීම. 

මෙම සංකූලතාවය ඇති වීමට මොළයේ basal ganglia යන පෙදෙසේ ඇති වන යම් වෙනස්කම් බලපාන බවටත්. ස්නායු සෛල වල ඇති serotonin නම් රසායනිකයේ අසමතුලිත තාවයන්ගේ බලපැමක් මෙයට ඇති බවද, රෝගය වැලදීමට ජාන ගත බලපෑමක් ඇති බවද තවද සමහරක් බැක්ටීරියා (streptococcus) අසාදනයන්ගේ අතුරුපලයක් ලෙස මෙය හට ගත හැකි බවද මෙම රෝගය ඇති වීමට හේතු සොයා බැලීමේදී හමුවන කරුණුය. මෙම කරුණු තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. දැන් ඔබට මෙම ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවය පිළිබඳ යම් වැටහීමක් ඇති යැයි සිතමි. මෙම මානසික ගැටළුකාරී තත්වය පහසුවෙන් සාමාන්‍ය තත්වයට පත් කල හැක අවශ්‍යය වන්නේ තමාට ඇති ගැටළුව හරියාකාරව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමය. එවිට බොහෝ විට ඖෂධ භාවිතයෙන් තොරව වුවද මෙය සාමාන්‍යය තත්වයට පත්කර ගත හැකිය. මේ සඳහා ඕනෑම සාමන්‍ය වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කරන්න. ඔහු අවශ්‍යය පරිදි තවදුරත් උපදෙස් ලබා දී නිසි වෛද්‍යයවරයෙකුට හෝ උපදේශකවරයෙකු වෙත යොමු කරනු ඇත. ඉතා සරල මානසික අභ්‍යාස වලින් මෙම තත්වය ඉතා පහසුවෙන් සුව කරගත හැක. කලාතුරකින් ඖෂධ වල සහයද ලබා ගැනීමට සිදු වේ. තම නිවසේ සමාජිකයින්ගේද සහය ගැනීමෙන් තවත් පහසුවෙන් මෙම තත්වය සුවකර ගතහැක., ඒ සඳහා ඔබගේ වෛද්‍යයවරයා හෝ උපදේශකවරයා උපදෙස් දෙනු ඇත. 66% කටත් වැඩි පිරිසකට නිවරැදි උපදෙස් පිළිපැදීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී සාමාන්‍යය තත්වයට පත් වීමට හැකි වේ. අනෙක් අයටද මදක් පසු වී වුවද නිවරැදි ප්‍රතිකාර ක්‍රම මඟින් සාමාන්‍යය තත්වයට පත් විය හැක. මෙම තත්වය ඇති අය ඉන් ඉතා පීඩාවට පත් වේ. මානසික පීඩනය, කලකිරීමට පත් වීම, අධික ලෙස කාලය නාස්ති වීම, නිතර කේන්තියට පත් වීම වැනි දුෂ්කරතා වලට ලක් වේ. එම නිසා මේ පිළිබඳ සැකයක් ඇත්නම් වෛද‍යයවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට වඩාත් පහසු සැහැල්ලු දිවියක් ලඟා කර ගත හැකි වනු ඇත. මේ සමඟම දිය යුතු ඉතා වැදගත් පණිවිඩයක්ද ඇත! එනම් මානසික රෝග යනු අනිසි ලෙස බිය විය යුතුවත්, සුව කල නොහැකි රෝගවත්, කීමට ලැජ්ජා විය යුතුවත් රෝග වර්ගයක්වත් නොවේ. ඒවාද සාමන්‍ය කායික රෝග මෙන් ඇති වී නැති වී යන, සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය වන තත්වයන්ය. එම නිසා මානසික රෝග පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස හා වැරදි ආකල්ප දුරු කිරීමට ඔබත් සහාය වන්න. ඉන් සුව කලහැකි බොහෝ මානසික රෝගී තත්වයන් ගෙන් පීඩා විදින අහිංසක ජීවිත ගණනාවක් නිවරැදි ප්‍රතිකාරයන්ට යොමුව සුවය ලබා යලිත් නිරෝගී මනසින් යුතුව සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබනු ඇත! (gimanhalablog හි පලවු ලිපියක් අසුරිනි.OCD පිලිබදව ඉතා ක්‍රමානුකූලව කරැනු මෙම ලිපියේ පෙල ගස්වා ඇති බැවින් එය මෙම පිටුවෙිහිද පල කෙරින.)

මනෝවිද්‍යාත්මක උපදේශනය යනු කුමක්ද?

♠ Posted by ආලෝකය
උපදේශනය (Counselling) යන්න අපට තරමක් නුපුරුදු කි‍්‍රයාවලියක් වුව ද වර්තමානය වනවිට එය ලාංකීය සමාජය තුළ ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වෙමින් පවතිනවා. උපදේශනය මගින් කිසිවිටෙක පුද්ගලයාට උපදෙස් දීමක් සිදු කරන්නේ නැහැ. උපදේශනයේදී පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කොට ඔහු ගේ ගැටලු හඳුනාගැනීමත්, එතුළින් සිය ගැටලුව නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබා දීමත් සිදු කරනු ලබනවා. මානසික ගැටලු සඳහා උපදෙස් ලබාදීම මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological counselling) ලෙස හඳුන්වනවා. උපදේශනය මුළුමනින්ම පාහේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක්. එහිදී පුද්ගලයා කෙබඳු තත්ත්වයක සිටියද ඔහු දෙස විවේචනාත්මකව බලන්නේ නැහැ. ඔහු වරද කරුවෙකි ඔහු අපරාධ කරුවෙකි ආදී ලෙසින් විනිශ්චයකට ලක්කරන්නේ ද නැහැ. උපදේශනයේදී උපදේශනය සඳහා ලක්වෙන ඕනෑම පුද්ගලයෙකු ඉතා ගෞරවනීය පිළිගැනීමකට ලක් කරනු ලබනවා. එමෙන්ම ඔහුගේ ගැටලු දෙස මානුෂවාදී මුහුණුවරකින් බැලීමත් එම ගැටලු විද්‍යාත්මකව විශ්ලේෂණය කොට ගැටලු වලට මුහුණ දීමට සහ ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබාදීමත් උපදේශනය මගින් සිදු කෙරෙනවා.

 අපට උපදේශනය අවශ්‍ය වන්නේ ඇයි? 

 අතීතයේ තිබූ සරල ජීවන රටාව බොහෝ වෙනස්කම්වලට ලක්ව තියෙනවා. අප රට තුළ සිදුවූ සමාජ ආර්ථික පෙරළිය මිනිසා තුළ මානසික ගැටලු සහ මානසික රෝගාබාධ රැසක් නිර්මාණය කර තිබෙනවා. විවිධ හේතුන් නිසා නූතන සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්ව තිබෙනවා. ආතතිය, ක්ලමතය, විශාදය ආදී මානසික රෝග බොහොමයකින් ඔවුන් පීඩා විඳින අතර ඇතැමුන් මානසික ගැටුම් සහ මානසික ගැටලු නිසා සෞඛ්‍ය පිරිහී ගිය තත්ත්වයකට ලක්ව සිටිනවා. පාසල් ළමුන් ප‍්‍රසිද්ධියේ ම කරනු ලබන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා විශ්ව විද්‍යාල සිසුන්ගේ නොයෙකුත් ගැටුම් ආදිය මීට නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. මෙසේ ඇති වී තිබෙන සමාජ පරිහානිය පුද්ගලයා සහ සමාජය කෙරේ බලපානු ලබන්නේ ඉතාමත් අහිතකර ආකාරයකින්. එහෙයින් සමාජ අසහනය තුරන් කරලීමට නිසි ක‍්‍රමවේදයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මනෝ විද්‍යාත්මක උපදේශනය තුළින් සිදු කරනු ලබන්නේ එම කි‍්‍රයාවලියයි. තමාට ගැටලුවක් පැන නැඟුන විට ඇතිවන සිත් තැවුල සහ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා එය විසඳ්‍රගන්නා ආකාරය පිළිබඳ පුද්ගලයාට එතරම් වැටහීමක් ඇතිවන්නේ නැහැ. එබැවින් තමන්ට කුමනාකාරයේ ගැටලුවක් තිබුණ ද එය විසඳ්‍රගැනීම සඳහා ඔබ විධිමත් උපදේශනයකට යොමුවීම ඉතා වැදගත් කරුණක්. 
   
 උපදේශනය කා සඳහාද? 

ජීවත් වීම යනු ප‍්‍රශ්නවලට මුහුණ දීම සහ ඒවාට විසඳුම් සෙවීම ලෙස දක්වන්න පුළුවන්. බොහෝ පුද්ගලයින් විවිධ ප‍්‍රශ්න, ගැටලු හා රෝගාබාධ නිසා නිරන්තරව පීඩා විඳීනු ලබන නමුත් ඒවා විසඳ්‍රගැනීම පිළිබඳ නිසි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. දුක, වේදනාව, වෛරය, පළිගැනීමේ චේතනා, කළ කිරීම, බිය සැකය ආදී චිත්තවේගයන්ගෙන් පීඩා විඳින අය සඳහා උපදේශනය අත්‍යාවශ්‍යයි. එතුළින් සහනශීලී සුවදායක, ප‍්‍රීතිමත් සහ ප‍්‍රියජනක ජීවිතයක් ඔබට ලබා දෙනවා. විසඳුම් සොයා ගත නොහැකි ගැටලුවකට මැදිව සිත් වේදනා විඳින, එහි අතුරු ඵලයක් ලෙස මානසික පීඩාවන්ට ගොදුරු වූ අය සඳහා ද උපදේශනය අත්‍යාවශ්‍යයි. ඔබේ ගැටලුවට කිසිම පිළිතුරක් නැතැයි සිතා සියදිවි නසා ගැනීමට උත්සාහ දරන එසේ සිතන අය සඳහාත් උපදේශනය අත්‍යවශ්‍යයි. උපදේශනය මගින් ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරනවා.

උපදේශනය ලබා ගත යුත්තේ කා වෙතින්ද?

 තමන් උපදේශනය වෙත යොමු වනු ලබන මනෝ විද්‍යාත්මක උපදේශකවරයා හෝ උපදේශකවරිය ඒ සඳහා වෘත්තිය සුදුසුකම් ලත් පළපුරුදු පුද්ගලයෙක්ද යන්න සොයා බැලීම ඉතා වැදගත් කරුණක්. වෘත්තීය සුදුසුකම් නොලත් අධ්‍යාපන සුදුසුකම් නොමැති බොහෝදෙනෙක් උපදේශන කාර්යයෙහි නියැලෙන බැවින් ඔවුන් පිළිබඳ නිසි ලෙස සොයා බලා උපදේශනයට යොමු විය යුතු වෙනවා. එසේ නොවූ විට එය පවතින ගැටලු වලට පරිබාහිරව තවත් ගැටලු නිර්මාණය විය හැකියි. තම ගැටලු සහ සිත් තැවුල් හෙළි කරීමට ඇති ලැජ්ජාවත් බියත් නිසා බොහෝ දෙනෙක් උපදේශනයට යොමු වීමට මැලිකමක් දක්වන අතර නිරන්තර පීඩාවන්ගෙන් කල්ගෙවනවා.

මානසික ආතතිය යනු කුමක්ද? 

 මනෝ විද්‍යාවේ දී අප මානසික රෝගාබාධ ප‍්‍රධාන කොටස් 02 කට වර්ගීකරණය කොට දක්වනවා. ඒ නියුරෂීය රෝගාබාධ සහ සයිකෝමය රෝගාබාධ නමින් ඉන් මානසික ආතතිය අයත්වන්නේ නියුරෝෂිය රෝගාබාධ ගණයටයි. ඉතා සරලව හැඳින්වුවහොත් මානසික ආතතිය යනු අපගේ යහපත් දිවි පැවැත්මට අනතුරුදායක සහ තර්ජනයක් විය හැකි අප අත්දකින අප‍්‍රසන්නකාරි අමිහිරි මානසික තත්ත්වයක් ලෙස හදුන්වන්න පුළුවන්. ඇතැමුන් මෙම පීඩාකාරී තත්ත්වයන්, අයහපත් චිත්තවේගයන් ආදියට දක්වනු ලබන අයහපත් ප‍්‍රතිචාරයක් ලෙස දක්වන්න පුළුවන්. මානසික විඩාව අපගේ මනසට මෙන්ම අපගේ සිරුරට ද ප‍්‍රතිචාර දක්වනවා. එමගින් අපගේ මානසික මෙන්ම කායික වෙනස්කම් ද ඇති කරනවා. මානසික විඩාව සැමවිටම අපව අසහනයට ලක් කරනවා.අපගේ දෛනික ජීවිතය සමබරව නිසි අයුරින් පවත්වාගෙන යෑමට බාදා පමුණුවනවා. ඉන් අප තුළ ඇති විය යුතු උනන්දුව, උද්යෝගය හීන කරනු ලබනවා මෙන්ම අප මානසිකව වෙහෙසකාරී තත්ත්වයකට ඇද දමනවා. කායික වශයෙන් ගත් කළ , හෘද ස්පන්දනය වේගය වැඩි වීම , මාංශ පේශි තදවීම සහ වේදනා ඇතිවීම , අධික ලෙස දහදිය දැමීම, හිතෙහි ඇතිවන හිරිගතිය ඇතැම්විට දෑත් වෙව්ලීම , තොළ කට සිඳී යාම, හිසරදය ආදි රෝග ලක්ෂණ අපට දකින්නට පුළුවන්. මානසික පීඩනට එසේත් නැතහොත් මානසික පීඩාව අප සැමටම පොදු තත්ත්වයක්. අප ජීවිතයේ බොහෝ අවස්ථාවන්වල පීඩාවන්ට ගොදුරු වෙනවා. අප බොහෝ කාර්ය බහුල වූ අවස්ථාවන වල, යම් කිසි කාර්යයක් ඉටු කිරීමට නිම කිරීමට නිශ්චිත කාලවකවානුවක් පමණක් ඇති විට අපගේ ජීවිතයේ යම් සුවිශේෂී අවස්ථාවක් උදා වූ විට අප නිරායාසයෙන්ම පීඩනයට මුහුණපානවා. මෙම තත්ත්වය ඇතැම්විට ධනාත්මක විය හැකියි. උදාහරණයක් ලෙස විවාහ දිවියට එළඹීමේදි, නව රැකියාවක් ලැබීමේ දි හදිසි මුදල් ප‍්‍රතිලාභයක් (උදා ලෙස ලොතරැයි දිනුමක්) ලැබීමේදි අපට ධනාත්මක ආතති තත්ත්වයක් ඇති වන්නට පුළුවන්. බොහෝ අවස්ථාවල එය එතරම් හානිකර වන්නේ නැහැ. එහෙත් ඍණාත්මක ආතති තත්ත්වයකට මුහුණ දෙද්දී අප එය අත් දකින ආකාරය ඉහත තත්ත්වයට වඩා වෙනස් වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබගේ ආයතන ප‍්‍රධානියා ඔබට දොස් නගනවායැයි සිතන්න. පළමු දිනයේ ඔබ එය නොසලකා හරිනවා. එහෙත් දිගින් දිගටම ඔබ නොකඩවාම මෙම තත්ත්වයට මුහුණ පානවා. එහි දී ඔබ තුළ නිරායාසයෙන්ම ඍණාත්මක මානසික පීඩනයක් (Stress) ගොඩ නැගෙනවා. දික්කසාදය, පවුලේ සමීපතම පුද්ගලයෙකු මිය යාම, සුව කළ නොහැකි රෝගයක් ඇති බව දැන ගැනීම , රැකියාවේ ගැටලු, කාර්ය බහුලභාවය අප තුළ අධික ලෙස මානසික පීඩනට ඇති කරවන්නට සමත්වෙනවා. ඇතැම් පුද්ගලයන්, තම පෞරුෂ ආබාධ , තම දුර්වලතා, ශාරීරික දුබලතා හේතුකොට ගෙන පීඩනයට මුහුණපානු ලබන අතර ඇතැමුන් අධික ‘ බිය” නිසා ද පීඩනයට ගොදුරු වෙනවා. උදාහරණ ලෙස ගුවනින් යාම , සර්පයන්ට සතුරු තර්ජන ත‍්‍රස්ත උවදුරු දක්වන්න පුළුවන්. අධික බිය සේම, අධික දුක, අදිය කලබලකාරිත්වය, අධික කෝපය, වෛරය වැනි මානසික තත්ත්වයන් නිසා ද බොහෝ විට මානසික පීඩනය ඇතිවන්න පුළුවන්. මානසික ආතතිය අපට ඇතැම්විට ධනාත්මන ප‍්‍රතිඵල ගෙන දෙනවා. අපට අපගේ ඉලක්ක කරා යාමට එමගින් ශක්තිය ජනනය කර දෙනු ලබනවා. අප අනතුරුදායක තත්ත්වයන්ගෙන් මිදීම සඳහා සංඥා ආලෝක නිකුත් කොට ඉන් ගැලවීම සඳහා සංරක්ෂණ කි‍්‍රයාදාමයකට අපව සකස් කරනවා. එහෙත් දිගින් දිගටම පවතින ආතතිමය තත්ත්වයන් අප කෙරෙහි බලපානු ලබන්නේ ඍණාත්මක ආකාරයෙන්, එමගින් අපව කායික මානසික දෙයාකාරයෙන්ම රෝගී කරවනු ලබන අතර මානසික පීඩනය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අපට විවිධ ගැටළු රැසකට මුහුණ පාන්නට සිදුවෙනවා.

සමාජ භීතීකාව

♠ Posted by ආලෝකය
සමාජය ඉදිරියේ තම හැකියාවන් පෙන්වීමට බයද?

යම් යම් ක්‍රියාවලට ඇතැම් පුද්ගලයන්ට විවිධ ඉරියවි වලට පමණක් නොව ඇතැම් සතුන් උස් ස්ථාන වනාදිය පිළිබඳව අප කා තුළත් බියක් ඇතිවීම සාමාන්‍යයි. එසේ වුවත් සමහර අවස්ථා වලදී මෙම බිය අසාමාන්ය‍ වන අවස්ථා නැත්තේම නොවේ. ඒවගේම ඒවා මනෝ විද්්‍යාත්මකව රෝග වශයෙන් ද සැලකීමට ද හැකිය. ඒවා භීතිකා (Phobia) වශයෙන් හඳුන්වන අතර සෑම පුද්ගලයෙකු තුළම මේවා හට නොගැනීම තවත් විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙවැනි භීතිකා විවිධාකාර වෙනවා පමණක් නොව ඊට යෙදිය යුතු ප්‍රායෝගික ප්‍රතිකාර ද පවතී. ව්‍යවහාරික මනෝවෛද්‍ය නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලද්දේ මෙම මානසික ගැටලුව පිලිබදව ඔබ වෙත යමි අවබෝධයක් ලබා දීමෙ අරමුණෙනි.

භීතිකාව පිළිබඳව සරලව පැහැදිලි කළොත්

විවිධ දේ සඳහා අප තුළ අස්වාභාවිකව හට ගන්නා බිය, භීතිකාව (Phobia) ලෙසින් මානෝ විද්යා නුකූලව හඳුන්වයි. සෑම පුද්ගලයෙකු තුළම දක්නට නොලැබෙන මෙවැනි තත්ත්ව ඇතැමුන් තුළ පමණක් දක්නට ලැබීම තවත් විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන්, කැරපොත්තන්ට අප බියක් නොදක්වයි. ඊට හේතුව, අප හොදාකාරවම ඒ සතා අපට හානිදායක නොවන බව දන්නා නිසයි. නමුත් ඇතැම් අය කැරපොත්තෙකු දැකීමට පවා බියයි. එවැනි තත්ත්වයක්, අස්වාභාවික, හේතු රහිත බියක් නිසා මනෝ වෛද්‍ය විද්්‍යාත්මකව භීතිකාවක් ලෙස හඳුන්වයි. මෙවැනි භීතිකාවන්ට ගොදුරු වූ සමාජයේ සිටින පුද්ගලයන්ගෙන් බහුතරයක් දෙනා එක්තරා මානසික ආතතියකින්ද පෙළෙයි. මෙවැනි, මානසිකව රෝගී බවට පත්වූ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ද ඊට බලපා ඇත. එවැනි අයගේ පෞරුෂත්වයට ද ඒ තුළින් බලපෑම් ඇති කරන අතර ජීවිතය විවිධාකාර වූ පසුබෑම් වලටද, ඔවුන් ලක්වේ. මේ භීතිකා අතුරින් බහුලවම ඇත්තේ සමාජ භීතිකාවයි. (Sosial Phobia )


Sosial Phobia යනු

සමාජ භීතිකාව සහිතවූ අයගේ භීතිකා සාධකය. (Phobic factor) වශයෙන් හඳුන්වන්නේ සමාජයයි. මෙවැනි පුද්ගලයන් තුළ දැකගත හැකි ලක්ෂණ පහත ආකාරයට පැහැදිලි කළ හැකියි. ඔවුන්ට සමාජය හෝ පුද්ගලයන් ඉදිරියේ කථා කිරීම, විවිධ ක්‍රියා කිරිම, රඟපෑම, ක්‍රිඩා කිරීම, අදහස් ප්‍රකාශ කිරීම ආදි ක්‍රියාවන් කළ නොහැකිය. මේ තුළින් අදාළ පුද්ගලයා තුළ දැඩි මානසික ආතතියක් හට ගැනේ. මෙය මානසිකව පමණක් නොව කායිකවද ඔවුන්ගේ සෞඛ්යේ පිරිහීමට හේතුවෙයි.


ඔවුන්ට ඇතිවන මානසික ආතතිය පාලනය කරන්නේ කුමන ක්‍රියා මඟින්ද?

මෙවැනි මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන අය නිරන්නතරයෙන් ඉන් ඉවත්වීමට උත්සාහ ගනිති. නමුත් ඇතැමුන්හට එසේ ඉවත් කිරීමට නොහැකි වූ විටදී දැඩි ආයාසයක් දරමින් මනසින් එම අවස්ථාව ගැන අමතක කර වෙනත් දේ සිතමින්, සිත සනසා ගැනීමට උත්සාහ ගනිති. කෙසේවෙතත් මේ සියලු ක්‍රියාවන් තාවකාලික පිළියම්ය. නැවතත් ඔවුන්ට එම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන විටදී මානසික ආතතිය යලි ඉස්මතු වීමට පටන් ගනී. ඒ අතරින් ඇතැම් පිරිසක් ඖෂධ ලබා ගැනීම, මත් වතුර පානය, දුම්පානය වැනි ක්‍රියා මඟින් ආතති පාලනයට උත්සාහ ගනිති. නමුත් ඒවාද තාවකාලික පිළියම් වේ. ඒ නිසාවෙන් අවසානයේ වෙනත් රෝගී තත්ත්වයන් හා අපහසුතා ඇතිවීමට හැකියි.


මේ සඳහා පවතින මනෝ විද්්‍යාත්මක ප්‍රතිකාර මොනවාද?

මනෝ විද්යාතත්මක ප්රෝතිකාර මඟින් මේ තත්ත්වය පහසුවෙන් සුවකර ගත හැකිය. ඊට සුදුසුකම්ලත් මනෝ චිකිත්දකවරයෙකුගෙන් සහාය ලබා ගත හැකියි. කෙසේ වෙතත්, තමන්ට එසේ ප්රාතිකාර ලබා ගැනීමට අවස්ථාවක් නොමැති නම් අවස්ථාවක් ලැබෙනතුරු තමා විසින්ම ඒ තත්ත්වය පාලනයට කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් සමාජභීතිකා තත්ත්වයක් ඇති අයෙකු සමාජීය ක්‍රියා සඳහා යොමු වූ විටදී මනස හැකි තරම් සන්සුන් කර ගැනීම පළමුව සිදු කළ යුතුයි. ඒ සඳහා තමා විසින් තමන්ට ආවේනික ක්‍රම යොදාගත යුතුයි. (මත් වතුර, දුම්පානය, වෙනත් ඖෂධ ගැනීම මීට අයත් නොවේ.) මෙවැනි අවස්ථාවකදී සිතට ගලාගෙන එන අස්වාභාවික බිය හා සිතුවිලි වලට විරුද්ධව සිතන්නට පටන් ගත යුතුයි.
මෙහිදී මනස සන්සුන් කර ගැනීමද ඉතා වැදගත්. කෙසේ වෙතත් එවැනි සිතුවිලි සිතින් ඉවත්වනතුරුම එසේ කළ යුතුයි. මෙමඟින් ඇතිවන හැකියාව නිසා සිතට ඇතිවන භීතිය පාලනය කරගත හැකියි. ඉහත පියවරට අමතරව තමන් අතීතයේදී ලද පරාජයන්, මුහුණ දුන් ගැටලු මතකයෙන් සිතට වද දෙන විටදී ඒ සිතුවිලි වලට එකඟ නොවී ඒවාට විරුද්ධ වෙමින් ක්රි යාකිරීම තුළින්ද භීතිකාවෙන් යම් ආකාරයකට මිදීමට හැකියි. එසේම තමාගේ මනසින් සමාජය ඉදිරියේ කථා කිරීම හෝ ක්රි්යාවන් කිරීම ආදීය මඟින් අත්දැකීම් ලබාගත යුතුයි. 

මීට අමතරව තමන් කරනු ලබන ඉදිරිපත් කිරීම් පුද්ගලයෙකුගේ කීපදෙනෙකු ඉදිරියේ කරමින් ඊට පෙර සූදානමක් ලබා ගැනීමද භීතිකාව අඩුකර ගැනීමේ කදිම ක්රි යාමාර්ගයක්. තමාගේ හැකියාවන් ගැන දිගින් දිගටම සිතමින්, තමන් ලබන අත්දැකීම් ගැන සතුටු වීමද භීතිකාව නැති කර ගැනීමට හොඳ මඟක්. එවැනි ක්රලමවේද මඟින් අදාළ අවස්ථාවට සතුටින් සැහැල්ලුවෙන් තමාට ඇතිවන භීතිකාව පාලනය කරගෙන මුහුණ දීමට හැකිවීමද විශේෂිතයි. ඇතැම් විටෙකදී සෙසු අයගෙන් ලද භයානක අත්දැකීම් සිතට නොගැනීමද භීතිකාව පාලනයට හොඳ මඟක් විශේෂයෙන් පිරිසක් ඉදිරියේ කතාබහ කරන විටකදී තමා පිළිබඳ ආත්ම විශ්වාසය, තමන් කරන කථාව හෝ ඉදිරිපත් කිරීම පිළිබඳ විශ්වාසය, නිවැරදි අවබෝධය මෙන්ම සූදානමද මෙම භීතිකා තත්ත්වය නැතිකර ගැනීමට හොඳ මඟක්. තවද අතීතයේදී තමන් මෙවැනි තත්ත්ව ආශිර මෙතව ලද සාර්ථකත්යන් ගැන සිතන්න. එමඟින් එදා මෙන් ඉදිරියේදී තමාට මුහුණ දීමට සිදුවන තත්ත්වයෙන් ජයගත හැකි බවද සිතන්න. එසේම තමාගේ බය පිළිබඳව නිතරම සිතීම ඒ පිළිබඳ කතාබහ කිරිම නොකළ යුතුයි. ඒ වගේම එය නියමිත මනෝ විද්යාත්මක ප්‍රතිකර අනුව හා ක්‍රමවේද අනුව කිරීම ඉතාම යෝග්‍ය වේ.

මෙම ක්‍රමවේද තමාටම කරගත හැකිය. නමුත් ස්ථාවර හා ශක්තිතමත් මානසික තත්ත්වයක් ලබා ගැනීමට අවශ්ය‍ නම් ඒ සඳහා නියමිත මනෝ විද්යාාත්මක ප්‍රතිකාර මාලාවක් ලබාගත යුතුයි. මෙහිදී භීතිකාවේ ප්‍රමාණය, මානසික තත්ත්වය, ශරීරයේ මතුවන සෞඛ්යා වෙනස්වීම් අධ්‍යාපනික මට්ටම අවබෝධ ආකල්ප ආදියද මනෝ විද්යාිත්මක ඇගයීමකට ලක් කළ හැකිය. ඉන් අනතුරුව අතීත අත්දැකීම් ආදිය ගැනද වයස, ආගමික පසුබිම, සමාජ මට්ටම ගැනද සැලකිලිමත් වී ක්‍රමවත්ව මෙම ප්‍රතිකාරද ලබා ගැනීමෙන් ස්ථීරව මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට හැකිය.

රැකියාව නිසා හටගන්නා ආතතිය

♠ Posted by ආලෝකය
රැකියා ආතතියෙන් මිදෙන්නටම 
 
(ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරිනි.ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පලකර ඇත.)

වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර සඳහා මා වෙතට යොමු කළ පියල් වයස අවුරුදු 32 ක විවාහක එක්දරු පියෙකි. විද්‍යා උපාධිධාරියකු වන ඔහු පුද්ගලික සමාගමක විධායක නිලයක් දරයි.‍ෙතද හිසරදය, නින්ද නොයෑම, සිතට බියක් ඇතිවීම, ඇඟපත කැක්කුම, ජීවිතය ගැන කළකිරීම, රැකියාව එපාවීම, හිත එක තැනක තබා ගැනීමට නොහැකිවීම, කේන්තියාම, රැකියාවේ වැඩ කිරීමට නොහැකියාව, නුරුස්නාගතිය, රැකියාව ගැන අවිශ්වාසය, වැඩ ගොඩ ගැසීම ආදී ප්‍රධානතම ප්‍රශ්න පියල්ට තිබුණි. මෙයට අමතරව සමහර දිනවල දී රාත්‍රී 10 පමණ වනතුරු සේවය කිරීමට සිදුවීම, නිවාඩු ගැනීමට නොහැකිවීම, ගෙදර සිටියත් රැකියාවේ ගැටලු දුරකථන පණිවිඩ මගින් විසඳීමට සිදුවීමත් පියල්ට තිබුණ ප්‍රධානතම හිතට වදදෙන ගැටලු විය.

මා මෙහි සඳහන් කළේ පියල්ට තිබුණු ප්‍රධානතම ගැටලු සමූහයයි. තවත් ගැටලු රාශියක් විය. තරුණයකු වූවද පියකු වූවද පියල්ට තම ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ නොහැකි විය. හොඳ පඩියක් ලැබුණත් එයින් සතුටට පත්වීමට ඔහුට නොහැකිවිය. හොඳ බිරිඳක් ඔහුට සිටියත් ගෙදර සිටින්නේ තදබල අපහසුතාවයකිනි.මෙවන් දිවියක් පියල් කෙදිනකවත් බලාපොරොත්තු නොවීය. ප්‍රතිකාරවලින් සහනයක් නොලද ඔහු ඉතාම අසරණ තත්ත්වයක සිටියේය.

පියල්ට සිදුව තිබුණේ කුමක්ද? මෙය අද සමාජයේ සිටින විශේෂයෙන්ම විවිධාකාර රැකියාවල යෙදෙන අයට ඇති රෝගී තත්ත්වයකි. මෙය විශේෂිත චර්යාවක් සමගින් මතුවන්නකි. සෞඛ්‍ය මනෝවිද්‍යාව (Health Psychology) එම චර්යාව. Type A Coronary – prone behaviour හෙවත් Type A Behaviour නමින් හඳුන්වනු ලබයි. Dunbar (1978) දී මුලින්ම හඳුනාගත් මෙම චර්යාව, Mcmichel (1978) දී මානසික ආතතිය සමඟින් එක්තරා විශේෂිත කණ්ඩායමකට මතුවන හෘද රෝග ලක්ෂණවලට සබඳතාව දක්වන්නක් බව පෙන්වා දී ඇත.

මෙම චර්යාව හා මනෝවිද්‍යාව සබඳතා දක්වන්නේ කෙසේද? ‘මානසික ක්‍රියාකාරිත්ව හා චර්යාව පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම’ වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වයි. මේ හෙයින් කුමන හෝ චර්යාවක් විස්තර කිරීම, අධ්‍යයනය කිරීම වැනි දෑ මනෝවිද්‍යාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයකි. මනෝ විද්‍යාව හා චර්යාව අතර සබඳතාවය John B Wodson නමැති අමෙරිකානු මනෝවිද්‍යාඥයා විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. මෙයට උත්තේජන – ප්‍රතිචාර සබඳතාවය ද විස්තර කර ඇත.

ඉගෙනීම චර්යාවේ ස්ථිර වෙනස්වීමක් ලෙසට අර්ථකථනය කර ඇත. Ivan Pavlov හා B. B. Skinner නැමති මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂණවලට අනුකූලව චර්යාවන් අලුතින් ඉගෙනගත හැක. චර්යාවන් හඳුනාගත හැකිය. එසේම චර්යාවන් නැතිවී ගිලිහී යනු ඇත. චර්යාවන් පාලනය කිරීමටද හැකිය. ඉහත මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති සිද්ධාන්තවලට අනුකූලව Behavioural Theapy නැමති මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ගොඩනැගී ඇත.

චර්යාව අධ්‍යයනය කිරීමෙන්, චර්යාව නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයකුගේ මානසික තත්ත්වයේ යම් යම් ඇගයීම් (Assesment) කිරීමට හැකිය. මෙය ප්‍රතිකාරවලදී වැදගත් වන්නකි. එම ඇගයීම තුලින් පුද්ගලයකුගේ පෞරුෂත්වය, ආතතිය, විශාදය, කාංසාව, වැනි මානසික ක්‍රියාකාරිත්ව පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමට හැකිය.

මේ හෙයින් චර්යාව මනෝවිද්‍යාවට හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සංවිධානයට ඉතාම වැදගත් කරුණු ලබාදෙයි. චර්යාව එක් එක් අයගේ විවිධ වනු ඇත. පුද්ගලයින්ගේ වයස, ස්ත්‍රි පුරුෂ භාවය, රැකියාව, වගකීම, අධ්‍යාපනය, සමාජ තත්ත්වය, සිතුවිලි මතිමතාන්තර අනුව වෙනස්වනු ඇත. මෙම චර්යාව පෙන්වනු ලබන අය ඉතාම තරගකාරී පරිසරවල යම් යම් ඉලක්ක කරා, ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරයි. එසේම ඔවුන් ඉක්මනින් කලබලවන, ඉතා හයියෙන් කතා කරන, සංසුන් මනසක් රහිතයි. එසේම ඔවුන් ඉක්මනින් කේන්ති යන, නොසන්සුන්, ඉක්මන්වන, ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකි, සුළු දෙයකින් පවා සැලෙන පුද්ගලයින් වනු ඇත. ගෙදර සිටියත් රැකියාව ගැන හිතයි. සැකයක් ඇත. උසස්වීම් පිළිබඳව සැක ඇත. කරන ලද වැඩ හරියට කළාද යන්න හිතයි.


මෙවන් පුද්ගලයින් තමන්ගේ සේවා පරිසරයේදී

1. විශාල වැඩ කොටසක් කරන අතර; ඉතා වැඩි කාලයක් ඒ සඳහා ගත කරයි.

2. ගෙදර යනවිටදී රස්සාවේ වැඩ ගෙන යයි. සැහැල්ලුවක් නැත.

3. නිවාඩු නොගනී.

4. අන් අය සමඟ තරගකාරීව වැඩ කරයි. තමන්ට යාමට නොහැකි තත්ත්වයන් ගැන හිතයි.

5. රාජකාරි ගැන ඉතා ඉක්මනින්ම කළකිරේ.

6. තමාගේ පහල නිලධාරින් සමඟ නිතරම රණ්ඩු කරයි.

7. ඉහළ නිලධාරින් ගැන වැරදි අවබෝධ දරයි.

මෙම තත්ත්වය අද සමාජයේ සිටින මෙවන් රාජකාරි කරන පුද්ගලයින් සතුව ඇත. පියල්ට ද මෙම තත්ත්වය ඉතාම නොඅඩුව තිබුණි. මෙම චර්යා රටාව තරුණ වයසේ දී යම් ප්‍රමාණයකට ඔරොත්තු දුන්නද ක්‍රම ක්‍රමයෙන් වයසට යනවිටදී එය විවිධාකාර ශාරීරික රෝග ඇතිකරලීමට හේතුවක් වනු ඇත.

පියල්ට ද මෙම තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Psychological Treatment) මාලාවක් ආරම්භ කරනු ලැබීය. රෝගී තත්ත්වය පිළිබඳව ඉතා සරල අවබෝධයක් සමඟම ඔහුට මානසික සංතුලනය උදෙසා ප්‍රතිකාර ආරම්භ විය. එය පියවර දෙකකින් සිදුකරන අතරේදී පියල්ට තම රැකියා ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය යොමු කිරීම් ආරම්භ විය.

ගැටලු කළමනාකරණය, සිතුවිලි කළමනාකරණය අශුභවාදී සිතුවිලි කළමනාකරණය පියවරින් පියවර ආරම්භ විය. එසේම තමන්ගේ වෘත්තිමය ක්‍රියා සංවිධානය හා තම සේවකයන් කළමනාකරණය කිරීමේ ක්‍රමයත් පියල් ආරම්භ කළේය. තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානයද විවිධාකාර අන්දමින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය මානසික උද්දීපනය පියල්ට ලබා දුනිමි. එසේම වෙනස්කම් ඇතිවීමත් සමඟම පියල්ගේ ජීවන රටාව වෙනස්කර ගැනීමට අවශ්‍ය පියවර ඔහු ගනු ලැබීය. මෙම ප්‍රතිකාර මාලාව ඉතාම ක්‍රමිකව හා සංවිධානාත්මකව කරගෙන යන විටදී ආකල්ප වෙනස් කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය.

පියල්ට ඉතා ඉක්මන් සුවය අවශ්‍ය වූවද එය ක්‍රම ක්‍රමයෙන් පියවරින් පියවරට ලබාදීමට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මාලාව ඔහුට ලබා දුනිමි. එහිදී ඔහු විසින්ම තම ප්‍රගතිය මැන ගැනීම හා ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම කරගනු ලැබීය. මේ සඳහා මාස 2 1/2 ක කාලයක් ගත වූ අතර එය ඔහුගේ උනන්දුව අවශ්‍යතාව හා පවුලේ අයගේ සහයෝගය ඉතාම වැදගත් විය.දැන් පියල් ස්වාධීනව කටයුතු කරන, තම රැකියාව හොඳින් සතුටින් කරන කායික හා මානසික සෞඛ්‍ය මෙන්ම සමාජයීය තත්ත්වයද හොඳින් ඇති පුද්ගලයෙකි.

මෙවන් Type A Behaviour ඇති අය නියම අන්දමින් ප්‍රතිකාර ලබා ගැනීම තුලින් තම රැකියාවන් හොඳින්
කරන අයවනු ලබන අතර කායික හා මානසික සෞඛ්‍යය හොඳින් ඇති කාර්යක්ෂම පුද්ගලයින් වනු ඇත.

දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා

♠ Posted by ආලෝකය
දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා

(විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් ඇසුරිනි)
ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය.

මෙවැනි ළමා මානසික ගැටලු අතර පාසල් යාමට මැළිවීම, සහෝදර ගැටුම්, කතා කිරීමේ දුර්වලතා, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදී බිය වීම, අසාමාන්‍ය හැසිරීම් රටා, පාසල් කටයුතුවල දුර්වල බව, දොම්නස් බව, මන්ද මානසිකභාවය, අධික්‍රියාකාරීත්වය වැනි ගැටලු ප්‍රමුඛ ලක්ෂණ වේ. මේවා වඩාත් සුලබ මානසික ගැටලු අතර දක්නට ලැබෙන ඒවාය.

මේවා එකිනෙක සලකා බැලීමේ දී

(1) පාසල් යාමට මැළිවීම


මෙය දරුවන් අතර ඉතාම සුලබ ගැටලුවකි. මේ සඳහා නොයෙක් මානසික හේතුන් මුල් වේ. මවගෙන් වෙන්වීමට ඇති අකමැත්ත, පාසලේ දී බලපාන විවිධ අසීරුතා මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඇති දුර්වලතා ආදිය හේතු වේ. එම හේතුව සොයා බලා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය.

(2) සහෝදර ගැටුම්


පවුලකට තවත් දරුවකු උපන් විට ඊට දක්වන සැලකිල්ල නුරුස්නා දරුවන්, තමන් කෙරේ අවධානය යොමු කර ගැනීමට විවිධ දේ කිරීමට පෙලඹේ. බාල සහෝදරිය හෝ සහෝදරයාට හිංසා කිරීම, පහරදීම්, ආදිය ද තමන්ට ඇති අසනීපයන් ගැන මවුපියන්ට ව්‍යාජ පැමිණිලි කිරීම ආදිය දැකිය හැකිය. මවුපියන් දරුවා වෙනුවෙන් ආකල්ප වෙනස්කොට ආදරය පෙන්වීම හා දරුවා සමඟ නිතර කාලය ගත කිරීමට ඉඩ සැලැසීමෙන් ඒවා මඟ හරවා ගත හැකි වේ.

(3) කතා කිරීමේ දුර්වලතා

සමහර ළමයින් කතා කිරීමේදී ‘ගොත ගසන’ බවක් පෙන්වයි. වයස අවුරුදු 5 – 6 පිරෙනවාත් සමඟම බොහෝ විට මෙය මඟ හැරී යනු ඇත. එහෙත් සමහර දරුවන් තුළ මේ තත්ත්වය දිගටම පවතී. එයට ප්‍රතිකාර වශයෙන් නිසිලෙස කතාව පුහුණු කිරීමේ විශේෂ අභ්‍යාස ක්‍රම ඇත.

(4) නින්දේදී මුත්‍රා පහවීම


දරුවකු වයස අවුරුදු 5 ඉක්මවූ පසුවද මුත්‍රා පහවීම සිදුවේ නම් එය කායික රෝගයක්ද යන්න නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු වේ. එසේ නොවේ නම් ඒ සඳහා විශේෂිත ක්‍රම අනුගමනය කළ හැකිය.

(5) නින්දේදී ඇවිදීම හෝ බිය වීම

මෙය ද ළමා වියේ ඇතිවන ගැටලු සහගත තත්ත්වයකි.

(6) අසාමාන්‍ය හැසිරීම් රටා

සමහර දරුවන් කුඩා කළ සිටම බොරු කීම, සොරකම් කිරීම, සතුන්ට වද දීම, හිංසා කිරීම වැනි නොමනා ක්‍රියාකාරකම් වල යෙදේ.මේවා ඔවුන් වැඩිහිටියන්වූ පසුද පෞරුෂ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. මේ හැසිරීම් කෙරෙහි මාපියන් දක්වන ප්‍රතිචාර මත මෙය මඟහරවා ගත හැකිය.

(7) පාසල් කටයුතුවල දුර්වලතා

මේ පිළිබඳ මාපියන් විමසිලිමත් විය යුතු වේ.පාසල් ක්‍රියාකාරකම්වලදී දරුවා දුර්වල බවක් පෙන්වයි නම්, ඒ ඇයි යන්න විමසා බලා දරුවාගේ දුර්වලතාව ඇත්තේ කිනම් විෂයයන් සඳහා ද යන්න සෙවිය යුතුය.එහෙත් දරුවාගේ බුද්ධි මට්ටම ඇගැයීමට ලක් කිරීම වඩා වැදගත් ය. උදාහරණයක් ලෙස දරුවා කියවීමට පමණක් දුර්වල නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වටී.

(8) දොම්නස් බව

ළමා වියේ දී දොම්නස් බවින් යුතුව දරුවකු කාලය ගත කිරීමට විවිධ හේතු බලපෑ හැකිය. මවගෙන් වෙන්වීම, පවුලේ අසමගිය, අපචාරයන්ට ලක්වීම ආදිය හේතු තිබිය හැකිය. අලස ගතිය හා නින්ද නොයෑම, ආහාර ප්‍රිය නොවීම, සෙල්ලම් කිරීමට අකමැති වීම, ආදී රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ නිසා බොහෝ විට දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම, කඩාකප්පල් වීම ආදිය ඇතිවන ශෝචනීය ප්‍රතිඵලය.

(9) අධි ක්‍රියාකාරීත්වය

සමහර ළමයින්ට යමක් කෙරෙහි අවධානය රඳවාගෙන සිටීම අපහසුය. ඇත්ත වශයෙන්ම මෙය සාමාන්‍ය කෙළිලොල් බවක්ද, ඉන් එහා ගිය තත්ත්වයක් ද යන්න පැහැදිලිව වටහාගත යුතුය.අධි ක්‍රියාකාරී තත්ත්වයක් නම් ඖෂධමය ප්‍රතිකාර පවා අවශ්‍ය විය හැකිය.

(10) මන්ද බුද්ධිකභාවය


සමහර දරුවන් බුද්ධිමය වශයෙන් පසුබෑමකට ලක් වේ. නොයෙක් හේතු මෙයට බලපා තිබිය හැකිය. සමහර විට මෙයට ප්‍රතිකාර තිබිය හැකි වුවද ඇතැම් විට සීමා සහිතය.

කෙසේ වුවද දරුවකු වැඩීමට, කතා කිරීමට, ඇවිදීමට හා අන් අය සමඟ ආශ්‍රය කිරීමට මැළි වේ නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් බව සිහි තබා ගත යුතු වේ. මානසික රෝග විශේෂඥ සේවා පැවැත්වෙන ඕනෑම මහරෝග්‍ය ශාලාවකින් ළමා මානසික රෝග පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය. ඒ හැරුණු විට ළමා මානසික ගැටලු සඳහාම වෙන්වූ ‘විශේෂිත සායන’ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවැත්වේ.

මේ ආකාරයට තම දරුවකු හට කිසියම් වූ අසාමාන්‍ය මානසික ගැටලුවක් ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. එවිට අවශ්‍ය නම් විශේෂඥ සේවා පැවැත්වෙන සායනයක් වෙත ද යොමු කෙරෙනු ඇත.

දරුවකු වැඩිහිටි වූ පසු ඔහුගේ ඇයගේ පෞරුෂත්වය රඳා පවතින්නේ කුඩා වියේ දී ලබන අත්දැකීම් මතය. එම නිසා දරුවන් කෙරෙහි මෙවැනි ගැටලුවකදී වඩාත් සංවේදීව කටයුතු කිරීම වැඩිහිටියන්ගේ යුතුකමක්ද වන්නේය.

බෞද්ධ මනෝවිද්‍යාව

♠ Posted by ආලෝකය
බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක්ද
What is Buddhist Psychology?


මනෝවිද්‍යාව මෙන්ම බුදුදහමද මනස මත පදනම් වූ දර්ශනයකි. නූතන මනෝවිද්‍යා නිර්වචනයන් හා එකඟ වන බුදුදහම ඒ හා සමානම නිර්වචනයන් දැක්‌විය හැක. විශේෂයෙන් හැසිරීම හා මනස බුදුදහමේද ප්‍රධාන සංකල්පයන්ය. "චිත්තෙන නීයති ලොකො" සිත විසින් ලෝකය මෙහෙයවනු ලබන බවත් "මනෝ පුබ්බංග මා ධම්මා" මිනිස්‌ මනස සියල්ලම පෙරටුකොට සිටින බවත් "චෙතනාහං භිCඛවේ කම්මං වදාමි, චෙතයිJවා කම්මං කරොති කායෙන වාචාය මනසාය" සියලුම කායික වාචසික මානසික යන සියල්ලටම මනස බලපාන බව මෙහි අදහසයි. සිතීම මානසික ක්‍රියාවලියක්‌ වන අතර එය සියලුම කායික ක්‍රියාවලටද බලපෑමක්‌ ඇති කරයි. බුදුදහමෙහි ත්‍රිපිටකය කියවන විට එහි ඇති මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන්ම සෑම තැනකම පාහේ සොයා ගත හැකිය. විශේෂයෙන් ථෙරගාථා ථෙරිගාථාවලදී මානසික පීඩනයන්ගෙන් සහ ආතතියෙන් වෙලී සිටි භික්‍ෂු භික්‍ෂූණීන් ඉතා උද්දාමයෙන් ප්‍රීතියෙන් යුතුව බුදුදහම නිසා එයින් මිදුන ආකාරයද දක්‌වා ඇත. එසේම ජාතක කථාවලද මනෝවිද්‍යාත්මක ලක්‍ෂණද මනෝචිකිත්සක ලක්‍ෂණද මනෝප්‍රතිකාරද ඉතා පැහැදිලි ලෙස දැක්‌විය හැක. දොස්‌තර D. V. J. Harischandra ලියා ඇති Phychiatric Aspects of Jataka Stories යන පොතෙහි ඒ සියලුම කරුණු තාර්කිකව ද සංසන්aදනාත්මකවද විස්‌තර කර ඇත. එහිදී මනෝචිකිත්සක අපිළිවෙලවල් ප්‍රතිකාර අෙච්තනික මනසට බලපෑම් කරන කරුණු ජාතක කථා මුල්කරගත් ප්‍රතිකාර ක්‍රම පොතක සඳහන් ප්‍රතිකාර ක්‍රම Psychodrama මනෝමය නාට්‍යය යනාදිය එම පොතෙහි ඉතා ක්‍රමවත්ව විග්‍රහ කර ඇත. D. V. J. Harischandra පොතට පෙරවදනක්‌ ලියන Dr. D. N. Athukorale බුදුදහමෙන් පෙන්නුම් කරන මනෝවිද්‍යාත්මක, මනෝචිකිත්සක ක්‍රම පැහැදිලි ලෙස දක්‌වා ඇත.

"ජාතක කථාවල ඇති මනෝරෝග අපිළිවෙල ගැන කියවීමට ලැබීම අප මවිත කරවන සුළුය. බJධනමොක්‌ඛ, සමුග්ග ජාතකයන්හි එන තම සහකරු / සහකාරිය පිළිබඳ ඊර්ෂ්‍යාව උම්මග්ග, කුස, මට්‌ටකුණ්‌ඩලී ජාතක කථාවල එන ශෝක ජනක ප්‍රතික්‍රියා, ගුත්තිල ජාතකයෙහි ආත්ම අභිමානය ගිලිහීමෙන් සියදිවි නසා ගැනීමේ හැඟීම් පහළවීම, මට්‌ටකුණ්‌ඩලී ජාතකයේදී වේදනාව පිළිබඳ රෝග ලක්‍ෂණද, කමනී සහ කේසව ජාතකවලදී මනෝජ අතීසාරයද පෙන්නුම් කරති. මානසික ඌණ වර්ධනය පිළිබඳ ලක්‍ෂණ අචරී සහ නන්ගුලීස ජාතක වලින්ද පෙන්නුම්කරති. අද කාලයේ වඩාත් ප්‍රචලිත ලිංගික ළමා අපචාර ලක්‍ෂණද විස්‌තරාත්මකව චුල්ල නාරද සහ පරන්තප ජාතක වලින්ද දක්‌වයි. ලිංගිකත්වයේ ප්‍රශ්නද, ලිංගික අනන්‍යතාවද, විවිධ ලිංගික ආශාවන්ද උයද භද්ද සහ උම්මග්ග යන ජාතක වලින්ද අධික ලිංගික ආශාවන් කුනාල ජාතකයෙන්ද පන්නික සහ සෙග්ගු ජාතක වලින් පෙන්වන්නේ නෑයන් සමග මෙවුන්දමෙහි යෙදීම වන අතර ඉතිපිසෝ ජාතකයේදී දැක්‌වෙන ආකාරයට ස්‌ත්‍රී පුරුෂයන්ගේ විවිධ ලිංගික ආශාවන්ද දැක්‌විය හැක. මෙවැනි ගැඹුරුවූත් සංවේදීවූත් මාතෘකා මෙම ජාතක කථාවල ගැබ්ව ඇත.

එසේම ප්‍රාර්ථනාවන් දෙකක්‌ ඔහුගේ පොතෙහි සඳහන් කර ඇත. ජාතක කථා පුනර්භවය පිළිගනී. මනෝචිකිත්සකයින් පුනර්භවය පිළිගත්තද නැතද මගේ පළමුවන අපේක්‍ෂාව පුනර්භවය සිද්ධාන්තයක්‌ නම් අනාගත සෑම පුනර්භවයකම මා නැවත ඉපදිය යුත්තේ මනෝචිකිත්සකයකු වීමටය. මගේ දෙවන අපේක්‍ෂාව ඔබද නැවත උපදින්නේ නම් ඔබ සෑම කෙනකුටම මගෙන් උපදෙස්‌ ලබාගැනීමට හැකි නොවේවා යන්නයි."

එසේම සමහර ජාතක කථාවල එන සංකීර්ණ ලිංගික ප්‍රශ්න ප්‍රොයිඩ් සඳහන් කළ ඔඩිපස්‌ සංකීර්ණයන් හි සහ ඉලෙක්‌ට්‍රො සංකීර්ණයන් හා සමාන වන බව අවධාරණයෙන් යුතුව පැවැසිය හැක. ප්‍රොයිඩ් විසින් ලියන ලද "The interpretation of Dreams" සිහින අර්ථකථන යන පොතෙහි ඇති කරුණුත් ජාතක පොතෙහි ඇති සිහින අර්ථකථනත් බොහෝ සමානතාවක්‌ දක්‌වයි. මහා සුපින ජාතකය උම්මග්ග ජාතකය ඉතා හරවත් ලෙස සිහින අර්ථ කථනයන් දක්‌වා ඇත. එසේම දරීමුඛ ජාතකයේදී මනෝචිතිත්සක අපිළිවෙල අටක්‌ දක්‌වා ඇත.

1. කාමඋන්මාදය

2. ක්‍රෝධ උන්මාදය

3. දර්ශන උන්මාදය

4. මෝහ උන්මාදය

5. යක්‍ෂ උන්මාදය

6. පිත උන්මාදය

7. සුර උන්මාදය

8. ව්‍යසන උන්මාදය

භික්‍ෂු ජගදීප් කශ්‍යප් ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය ගැන බෞද්ධ නිර්වචනය යන්නෙන් ලිපියක්‌ ලියමින් ප්‍රොයිඩ් මනස ගැන කියන ලද සංකල්පයන් බොහොමයක්‌ම බෞද්ධ සංකල්පයන් සමග මනාව ගැලපෙන බව දක්‌වා ඇත. Buddhsit Conception of mind is wonderfully parallel to the psychoanalysis of Dr. Freud මනස පිළිබඳ බෞද්ධ සංකල්පය මනෝවිද්‍යාඥ ප්‍රොයිඩ්ගේ විශ්ලේෂණවාදය හා මනාව ගැලපේ.

දීඝ නිකාය මහා සතිපට්‌ඨාන සූත්‍රයට අනුව කය ගැන ප්‍රායෝගිකව මෙනෙහි කිරීම තුළින් මනෝභෞතිකමය සැනසීමක්‌ එසේම ස්‌ථාවර අවධියකුත් ඇති කරවයි. සෙච්තනිකත්වය වැඩිහිටි පරීක්‍ෂකයකු නම් අෙච්තනිකත්වය අකීකරු ළමයකු වන අතර එම ළමයා මැඬ ක්‍රියා කළ යුතුය. චිත්තානුපස්‌සනාව මගින් වෙන අයකු වෙත නොගොස්‌ එමගින් හැසිරීම තමා විසින්ම විශ්ලේෂණය කරගන්නා අයුරු දක්‌වයි. එමගින් තමා විශ්ලේෂණය කර ගැනීමට උනන්දුවේ. ශක්‌තිමත් දැකීමක්‌ තුළින් ගැඹුරු දැක්‌මක්‌ ඇති කරගෙන ඒ තුළින් සිත තුළට යා හැක. දීඝනිකායේ සතිපට්‌ඨාන සූත්‍රයේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද තාක්‍ෂණික ක්‍රම මගින් අද කාලයේ ප්‍රොයඩියානු මනෝවිශ්ලේෂණවාදය හදාරණ පර්යේෂකයන්ට විශාල වශයෙන් වාසි ලබාගත හැකි බවට සැකයක්‌ නොමැත.

බුදුදහමෙහි මනෝවිද්‍යාත්මකව බැලිය හැකි ප්‍රධානම පැත්ත නම් අභිධර්මයයි. අභිධර්මයෙහි සිතෙහි සියලුම ප්‍රභේදයන් මනාව විග්‍රහ කරන අතර එහි සංකීර්ණයත්වයද පැහැදිලි ලෙස පෙන්වා දී ඇත. එහිදී චිත්ත චෛතසික රූප නිබ්බාන ලෙස පරමාර්ථ ධර්ම කරුණු 4 ක්‌ තුළ විස්‌තර කිරීමට යෙදෙයි.

එසේම බුදුදහමෙහි ප්‍රධාන ධර්ම සංකල්ප අතර චතුරාර්ය සත්‍ය අනිවාර්යෙන්ම මනෝවිද්‍යාත්මක ලක්‍ෂණයන්ගෙන් යුතුවූවකි. දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කර ගැනීමේ මාර්ගය එහිදී විස්‌තර කර ඇත. දුක යනු මානසික ක්‍රියාදාමයක්‌ වන අතර දුක විස්‌තර කරනුයේද මිනිස්‌ අත්දැකීම් ආශ්‍රයෙනි. "ජාතිපි දුCඛා ජරාපි දුCඛා ව්‍යාධි දුඛා මරණම්පි දුඛා අප්පියෙහි සම්පයෝගෝ දුඛා පියෙහි විප්පයෝගො දුඛා යම් පච්ඡං න ලබති තංපි දුඛං" ඉපදීම නිසා සියලුම මානසික රෝග ලෙස දුක්‌ ආදිය සෑම කරදරයක්‌ම ඇතිවේ. එමනිසා බුදුදහමේ පරම අපේක්‍ෂාව නම් නැවත ඉපදීමට හේතුවන තෘෂ්ණාව නැතිකර නිවන ලබාගැනීමයි. ඉපදීම නිසා ජරාවට රෝගාබාධවලට ගොදුරුවේ. එ සියල්ලම දුක්‌ය. එසේම අපි අකැමැති අය සමග ආශ්‍රයට ලැබීමද කැමැති අය අපගෙන් වෙන්වීමද බලාපොරොත්තු දෑ නොලැබීමද යන සියලු දේ දුක්‌ය. කෙටියෙන් ගත්කළ මුළු පඤ්චස්‌ඛන්ධයම දුකක්‌ය. "සංත්තේන පඤ්චුපාදානාක්ඛන්ධා දුක්ඛා" පඤ්චස්‌ඛධයනම් රූප, වේදනා, සඤ්, සංඛාර, විඤ්න යනුයි. එසේම අද කාලයේ බොහෝ සියදිවි නසා ගැනීම්වලටද හේතු වී ඇත්තේ ඉච්ඡාභංගත්වයයි. ඉච්ඡාභංගත්වය චණ්‌ඩභාවයට පෙළඹෙන අතර එමගින් විසඳුම් නොලැබීම තුළින් සියදිවි නසාගැනීම දක්‌වා දිවෙයි. එසේම දුක නැතිකර ගැනීමටද බුදුන්වහන්සේ ආර්ය මාර්ගයක්‌ පෙන්වා දී ඇත. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යහපත් දැකීම, යහපත් සංකල්පනාවන්, හොඳ වචන, හොඳ කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම, යහපත් උත්සාහය, හොඳ සිහිය සහ සමාධිය යනු මේ වැදගත් අංග අටයි. එසේම යහපත් ලෙස සිහිය පවත්වා ගැනීමට නොහැකිවීම තුළින් සමාජානුයෝජනයේදී ප්‍රශ්න ඇති වන අතර සමාධිය නැතිවීම තුළින් සමාජ මනෝවිද්‍යාවට අනුව සමාජ විරෝධි පෞරුෂFව ලක්‍ෂණද ඇතිවීමට ද පුළුවන. මේ සෑම කාරණයක්‌ දිහාම තාර්කිකව බලන කල අපට හැඟෙන්නේ බුදුදහම තුළ මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන් පිළිබිඹු වන බවය.

අභිප්‍රේරණ සිද්ධාන්තයන්ද මනෝවිද්‍යාවේදී සාකච්ඡාවට ගැනෙන අතර බුදුදහම තුළද අභිප්‍රේරණ සිද්ධාන්ත දැකිය හැකිය. දක්‌වා ඇත්තේ පුද්ගලයාට අවශ්‍යතා බොහොමයක්‌ ඇති බවය. විශේෂයෙන් මනෝවිද්‍යාඥ මස්‌ලෝට අනුව ඔහුගේ අවශ්‍යතාවන්ගේ පිළිවෙළ මෙසේය.

Need for Self actualizations

ආත්මාවබෝධය පිළිබඳ අවශ්‍යතාවය

Esteem needs

ආත්මාවභිමානනීය අවශ්‍යතාවය

Belongingness needs

Love needs

ආදරය සහ හැඟීම් සම්බන්ධ අවශ්‍යතාවය

Safety needs

ආරක්‍ෂාව පිළිබඳ අවශ්‍යතාවය

Physiological needs

ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවය

නිතරම බොරැ කියන්න හිතෙනවද ? මෙම ලිපිය කියවන්න

♠ Posted by ආලෝකය
කට ඇරියොත් බොරු කීම මානසික රෝග ලක්ෂණයක්ද?

විසි හතර හැවිරිදි තරුණයකු මනෝ වෛද්‍ය වාට්ටුවට එවා තිබුණේ රෝහල් කායික රෝග වාට්ටුවකිනි. කායික රෝග වාට්ටුවට ඇතුළත් කිරීමට හේතුව ඔහු කියූ ආකාරයට නම් නොදන්නා පිරිසක් පහර දීමය. මේ තරුණයාගේ නාසයෙන් වරින්වර රුධිරය ස්වල්පය බැගින් පිට වූ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින්වත් ඔහුට කායික රෝගයක් ඇති බව අනාවරණය වූයේ නැත. එසේම ඔහු රෝහල්ගත වීමට අදාළව බරපතළ පහර වැදීමක්ද සිදුව නැති නිසා ඔහුගේ මේ සියලු තත්ත්වයක් සලකා බලා මානසික රෝග වාට්ටුවට ඔහු මාරු කර තිබිණි.

මේ රෝගියාගේ පියාගෙන් විස්තර විමසද්දී ඔහු කීවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. එම පියා පැවසූ අන්දමට වයස අවුරුදු දහසයේ පමණ සිට මේ තරුණයා විශාල වශයෙන් බොරු කියන්නට පටන් ගෙන ඇත. පාස‍ලේ එක එක දේවල්වලට ගුරුවරුන් නියම කළ බව කියමින් මුලින් ඔහු නිතර නිතර ගෙදරින් මුදල් ඉල්ලාගෙන ගොස් තිබේ. පසුව හෙළි වූ පරිදි ඔහු එලෙස ඉල්ලා ගෙන යන මුදල්වලින් කර ඇත්තේ විවිධාකාර වූ රසවත් ආහාර වර්ග ගැනීමය.පුතු බොරු කියා මුදල් ඉල්ලා ගන්නා බව පසුව මේ දෙමාපියන්ට හෙළිවීම නිසා ඔවුන් පුතුට මුදල් දීම අතිශයින්ම සීමා කළහ. ඉන්පසු පුතු කළේ ගෙදරින් මුදල් සොරකම් කිරීමය. මේ ආකාරයට මුදල් සොරකම් කළ ඔහු පසුව ඒ මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත්තේය. ඉන්පසු ඔහු කරන්නට පටන් ගත්තේ වෙනත් සෙල්ලමකි. ජංගම දුරකථනයෙන් ඔහු තම නෑදෑයින්ට ඇමතුම් දී ‘අසවලා ඔයාට මෙහෙම කිව්වා’ ආදී වශයෙන් වෙනත් නෑදෑයකුගේ නමක් පවසා බොරු කේලම් ගොතා කීමය. එය බොරුවක් බව නොදැන එම නෑදෑයින් දබර කර ගන්නා විට මේ තරුණයා ඉන් මහත් ආශ්වාදයක් ලැබිය.ඔහු රැකියාවල්ද කිහිපයක් කර තිබිණි. ඒ හැම තැනකදීම ආයතන ප්‍රධානියාගේ හෝ වෙනත් අයගේ වැරදි කියමින් ඔහු රැකියාවෙන් නතර විය. කිසිදු රැකියාවක මාස තුනක කාලයක්වත් ඔහු රැඳී සිට නැත. තම පුතු ආයතන ප්‍රධානියා ඇතුළු අනෙක් අය ගැන බොරු චෝදනා කරන බව දෙමාපියන්ට හෙළිවී ඇත්තේ පසුවය.

තරුණයා පැවසූ අන්දමට ඔහු කිහිප වරක් සියදිවි නසා ගන්නට උත්සාහ කර තිබේ. නමුත් පියා කීවේ එවැනි කිසිවක් සිදු නොවූ බවය. මේ අතර ඔහු පිටරට යාමට තීරණය කර ඒ සඳහා මුදල් සොයා ගැනීමට ගිය ගමනකදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහරදී බිම ඇද දැමූ බව මේ
තරුණයා වෛද්‍යවරුන් හමුවේ කියා සිටියේය. නමුත් පියා කීවේ ඔහු දිගු කල්පනාවකට වැටී පාරේ ගමන් කරන විට මුලක හැපීි වැටී ඇති බවය. පියාගේ ප්‍රකාශය සත්‍ය බවට පිළිගත හැකි සාක්ෂි තරුණයා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුනට පැහැදිලිවම දැකගත හැකි වී තිබිණි. වැටීම නිසා එක අතක් තුවාල වීම මත ඔහු රෝහලට ඇතුළු කර තිබෙන්නේත් පියාය.මෙම තරුණයා අනෙක් අයට බොරුවක් ලෙස කෙසේවත් නොහැඟෙන පරිදි බොරු ගොතා කී අතර මුලදී මවුපියන්වත් එය විශ්වාස කළේ නැත.බොරු කියන අය එසේ කියන්නට පෙළඹෙන විවිධ හේතු තිබේ. එකක් නම් ලාභ ප්‍රයෝජන හා වාසි තකාය. තමන්ට කුමක් හෝ කරදරයක් සිදුවන්නට යන බව දැනෙන විටදීද සමහරු ඉන් ගැලවෙන්නට සිතා බොරු කියති. නමුත් එවැනි සාධාරණ පදනමක් නැතිව ‘කට ඇරියොත් බොරු ඇද බාන බේගල් මුත්තලා’ ද සිටිති.

මෙලෙස කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයකි. මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වයි. මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ 1891 වසරේදී ඇන්ටන් ඩෙල්බෘක් (Anton delbruck) නම් මනෝ වෛද්‍යවරයෙකි.මෙහිදී සිදු වන්නේ කිසිදු දේකට සම්බන්ධ නැති මනඃකල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පැවසීමය. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින් දැන සිටිය හැකි සේම එසේ නොදැන හිඳින්නටත් පුළුවන. එසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසාය.

ව්‍යාධික මුසාවාදය බොහෝ විටම හට ගන්නේ වයස අවුරුදු 16-18 වැනි තරුණ කාලයේදීය. කාන්තා පිරිමි දෙපිරිසටම හට ගත හැකි මේ මානසික ආබාධය ඇතැම් අවස්ථාවලදී වෙනත් කායික රෝගයක ලක්ෂණයක් ලෙසින්ද හට ගැනීමට ඉඩ තිබේ. අපස්මාරය, හිසට තදබල පහරක් වැදීම හෝ අනතුරක් සිදුවීමෙන් මොළයට හානි වීම, මොළයේ ඇතිවන ආසාදන වැනි රෝග තත්ත්වයන් මීට උදාහරණ වන අතර මෙහිදී ව්‍යාධික මුසාවාදය තත්ත්වය හට ගන්නේ එවැනි රෝගයකදී පසුකාලීනව ඇතිවන සංකූලතාවයක් ලෙසිනි.මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අසත්‍ය පැවසීමේ අවකාශය වැඩිය. නමුත් කලාතුරකින් එම පවසන දේවල්වල සත්‍යයේ ඡායා මාත්‍රයක්ද තිබිය හැකිය. ඒ කෙසේ වුවද මෙසේ පවසන්නේ රෝගියා විසින් සිතින් මවා ගන්නා ලද දේවල්ය. එහිදී අනෙක් අයගෙන් මීට යහපත් ප්‍රතිචාර ලැබේ නම් රෝගියා තමන් පවසන දෙයට තව තවත් බොරු ගොතා විස්තර කරන්නට පෙළඹෙනු ඇත. මෙවැනි අය රහතුන් ලෙස සලකමින් අනුගාමිකයන් එකතු වන අවස්ථාද තිබේ. ඒ ඔවුන් කියන බොරු විශ්වාස කිරීම නිසාය.ඕනෑම බොරුවක් පසු කලෙක හෙළි වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ අනුව තමන් කියන බොරුද හෙළිවී ලජ්ජාවට පත් වන්නට සිදුවූ විට ටික කලක් මේ රෝගීන් නිහඬව හිඳින්නට පුළුවන. නමුත් ඉන්පසු නැවතත් පෙර ලෙසම බොරු කියන්නට පෙළඹෙනු ඇත.

ඉහත ද කී පරිදි මේ රෝගීන් බොරු කියන්නට පෙළඹෙන්නේ ලාභයක් හෝ වාසියක් තකා නොව ඔවුන් එසේ බොරු කීම තුළින් ආශ්වාදයක් ලබන නිසාය.මේ මානසික ආබාධයට බෙහෙවින් සමාන තවත් මානසික ආබාධයක් තිබේ. ඒ ව්‍යාජ මතක ආබාධයයි. (False memory syndrome)මේ අය තමන් සිතේ මවා ගත් දේවල් සත්‍ය බවට 100ක්ම විශ්වාස කරති. ඒ අනුව ඒවා සත්‍ය ලෙසට අනෙක් අයට පවසන්නටද පෙළඹෙති. එසේ වන්නේ එවැනි දෙයක් සත්‍ය වශයෙන්ම සිදුවූ බවට මතකයක් ඔවුන් තුළ තිබෙන නිසාය. නමුත් එය ව්‍යාජ මතකයකි. නමුදු එය ව්‍යාජ මතකයක් බව රෝගියා දන්නේ නැත.පෞරුෂත්වයේ විවිධ ඌනතාවයන් ඇති අයගේ ව්‍යාධික මුසාවාද රෝග තත්ත්වය බොහෝවිටම දැකිය හැකිය. සමාජ විරෝධී පෞරුෂත්වය (Anti social personality) ඇති අයගේද මෙම රෝග තත්ත්වය හට ගැනීමට අවකාශ ඇත. මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් මේ රෝග තත්ත්වය සුව කළ හැකි වුවත් රෝගියා ආවේගශීලී හැසිරීම් පළ කරන්නේ නම් ඖෂධ ප්‍රතිකාරද ලබා දීමට සිදුවිය හැකිය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතාගේ ලිපියක් ඇසුරිනි.

භාවනාව සහ මානසික සුවය

♠ Posted by ආලෝකය
ලෙඩ රෝග ගණනාවකට සුවය සලසන භාවනාව

භවනාවන් යොදා ගනිමින් රෝග සුව කිරීමට ඇති අවස්ථා පිළිබඳ මේ වන විටත් බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

භාවනාව මගින් රෝග ගණනාවක් සුවපත් කළ හැකි බව මේ වන විටත් බටහිර විද්‍යාඥයින් විසින් සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. මිනිසාගේ මනස අවිවේකිය. අවිවේකි බව නිසා මනස රෝගී වේ. මනස රෝගී වූ විට සිරුරද රෝගී වේ. මිනිස් මනසේ නිරන්තරයෙන් ගලා යන සිතුවිලි ධාරා යහපත් කිරීම වැදගත් වන්නේ ඒ නිසාය. භාවනාව යනු මනස පුහුණු කිරීමයි. මනස පාලනය කරමින්, සැහැල්ලු කරමින්, ක්‍ෂය වූ මනස ප්‍රකෘතියට පත් කිරීම භාවනාවෙන් සිදු වේ.

එසේ නම් භාවනාව මගින් රෝග සුව වන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් පැහැදිලි කෙරේ.

භාවනාව මගින් ලෙඩ රෝග සුවවන ආකාරය

ශාරීරික රෝග සුවවන ආකාරය


භාවනාව මගින් සිදුවනුයේ සිතෙහි විසිරීම අඩුවීම හෝ නතරවීමයි. සිතෙහි මතුවන නොයෙකුත් සිතුවිලි ධාරා නතර වන නිසා, මනසෙහි නිහඬතාවක් මතු වේ. මේ නිහඬතාව නිසා තමාට සැනසීමක් සහ පී‍්‍රතියක් දැනේ. මේ පී‍්‍රතිය නිසා මොළයේ පිටියුටරි ග්‍රන්ථයෙන් “ එන්ඩෝපින් “(Endorphin) නමැති හෝමෝනයක් ස්‍රාවය වන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත.ඔවුන් මේ හෝමෝනය සතුට ගෙන දෙන හෝමෝන (Pleasure Hormones) ලෙස නම් කර ඇත. මේ හෝමෝන මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවන නිසා විශාල ලෙඩ ප්‍රමාණයක් සුව කර ගැනීමට හැකි බව විද්‍යාඥයින් ඔප්පු කර ඇත.අකමැත්ත හෙවත් කේන්තිය (ව්‍යාපාදය) නිසා වැඩි වැඩියෙන් මනස විසිරීම තුළින් ශරීරයට අහිතකර ආකාරයට ස්‍රාවය වන හෝමෝන (Stress Hormones) සහ තවත් ජෛව රසායනිකයන් නිසා ශරීරයේ ප්‍රතිශක්තිය හින වීම, රුධිර සංසරණය වේගය වැඩි වීම මගින් නොයෙකුත් ලෙඩ රෝග හට ගනී. භාවනාවෙන් මේ අහිතකර ජෛව රසායනික ස්‍රාවය අඩුකර ගත හැකි වේ. රෝග සුව වීමට හෝ සමනයට මෙයද ප්‍රධාන සාධනයකි.භාවනාව මගින් මනස පුහුණු වන නිසා ආශාවන් පාලනය තුළින් ආහාර ගැනීම පිළිබඳ මනා පාලනයක් කිරීමට ලැබෙන හැකියාව, අනවශ්‍ය ආහාර මගින් වැඩිවන ලෙඩ රෝග ද සමනය කළ හැකයි. උදාහරණ ලෙස දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් ආදිය පෙන්වාදිය හැකයි.

මානසික රෝග සුවවන ආකාරය


මානසික අවපීඩනය හෙවත් විශාදයට (Depression) හේතුව වනුයේ ලේවල ඇති ස්නායු පද්ධතියට සම්බන්ධ ජෛව රසායනිකයන් (Nurotransmitters) අඩුවීම බව වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම වේ. නොයෙකුත් ගැටලු නිසා සිතුවිලි වැඩිවන නිසා මේ ජෛව රසායනික ක්‍ෂය වේ. භාවනාව මගින් සිතුවිලි හෙවත් ප්‍රපංච නතර වන නිසා ක්‍ෂය වූ මෙම ජෛව රසායනිකයන් සාන්ද්‍රණය නැවතත් රුධිරය වැඩිවීමට පටන් ගනී. මෙම ජෛව රසායනිකයන් සාන්ද්‍රණය වැඩිවීම නිසා මානසික අවපීඩනය වැනි රෝග සුව වන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. මොළයේ නියුරෝන සෛල ක්‍ෂයවීම නිසා මතකය අඩුවීමේ මානසික රෝගයක් (Dementia) ඇත. භාවනාව මගින් මොළයේ නියුරෝන සෛල වර්ධනය වන බවට ද සොයා ගෙන ඇත. භාවනාව නිසා ඉහත සඳහන් රෝගය ද හට ගැනීම වළක්වා ගත හැකිය. මානසික අවපීඩනය නිසා ඇති වන හිස රුදාව, ඇඟපත වේදනාව වැනි ශරීරික රෝග පවා සුව වේ.

කෝපය අඩුකර ගැනීම

තමාට දැඩි කෝපයක් ඇති වන්නේ නම් එම කෝපය ආ විගස එය එවේලේම සමනය කිරීම සඳහා “ කේන්ති ගන්න එපා. කේන්තිය හොඳ නැහැ “ යනුවෙන් තමන් විසින් එක දිගටම මන්තරයක් ලෙස සිතින් තමාටම පැවසීමෙන් කෝපය අඩුකර ගත හැකිය. කේන්තික් ආ විගසම මෙය නිතර නිතර මැතිරීමෙන් කේන්තිය මතුවීම අඩුකර ගතහැකිය. තමන්ට අවශ්‍ය නම් ඕනෑම හැඟීමක් හෝ ආශාවක් හෝ සිතිවිල්ලක් අඩුකර ගැනීමට හෝ පාලනය කිරීමට මේ ක්‍රමය උපයෝගී කර ගන්න පුළුවන්.

වේදනාව අඩුකර ගැනීමට


මොනයම් හෝ වේදනාවක් මතු වූ විට “ මේ හොඳයි මේ හොඳයි “ මන්තරය එක දිගටම මැතිරීමෙන් වේදනාව සමනය කිරීම හෝ සුවකර ගැනීම කළ හැක.” මේ හොඳයි “ කියා මන්තරයක් ලෙස සිතින් සෑහෙන වේලාවක් නොකඩවා මැතිරීමෙන් සිදුවනුයේ මනස තම වේදනාව හොඳ දෙයක් ලෙස පිළිගැනීමයි. එවිට මනස වේදනාව සමඟ සෑහීමකට පත්වී, වේදනාව සමඟ මිත්‍රවීම සිදුවේ. මේ මගින් වේදනාව සමනය කළ හැකිය. ඕනෑම ප්‍රබල වේදනාවක් ඇති විට මේ හොඳයි මන්තරය සමග සෑහෙන වේලාවක් ඉවසීමෙන් සිටින්නේ නම්, මනසට වේදනාව කෙරෙහි අවධානය සෑහෙන වේලාවක් තබා ගත නොහැකි නිසා, මනස එම වේදනාව සම්පූර්ණයෙන්ම අත හරී. එවිට වේදනාවද සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේ. හොඳ ඉවසීමක් තිබේ නම් වේදනා නාශක නොමැතිව වුත් ඉතා තද වේදනාවල් පවා මේ ආකාරයට සුවකර ගත හැකිය.

භාවනාවෙන් වර්තමානයේ සිදුවන දේ පිළිබඳ මනා අවබෝධය හෙවත් සතිය දියුණු වන නිසා ඇතිවන ප්‍රයෝජන

සමථ භාවනාවෙන් සිතෙහි මතුවන සිතුවිලි ( ප්‍රපංච ) නතර වී ඇතුළතින්් නිහඬතාවක් දියුණු වන නිසා, මේ මොහොතේ සිදුවන දේ් පිළිබඳ සියයට සියයක අවධානය යොමු කිරීමේ හැකියාව හෙවත් සතිය දියුණු වේ. එමගින් සිදුවනුයේ අවධානය පිටට නොයා, යම් දෙයක් කෙරෙහි නොකඩවා සෑහෙන වේලාවක් අවධානය යොමු කර ගෙන සිටීමේ හැකියාව දියුණු වීමයි. මේ මගින් එදිනෙදා ජීවිතයේ කටයුතු දියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජන රැසක් ලැබේ. එනම්.

අධ්‍යාපනය දියුණුවීම


අධ්‍යාපනය ලබන ඕනෑම කෙනෙක් දේශනයකට සවන් දීමේ දී අවධානය පිට නොයා සියයට සියයක්ම එම දේශනය තමන්ගේ මතක ගබඩාවේ රඳවා ගැනීමට හැකි වේ. භාවනා පුහුණුවෙන් බුද්ධිය (I.Q වැඩිවන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. භාවනාවෙන් මොළයේ නියුට්‍රෝන සෛල පවා වර්ධනය වී, මොළයේ විශාලත්වය පවා වැඩිවන බව ඔවුන් සොයා ගෙන ඇත.

ක්‍රීඩාව දියුණුවීම

සතිය දියුණුවීම නිසා අවධානය සියයට සියයක්ම කරන දේ කෙරෙහි යොමු වේ. ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා දියුණු කිරීමට සෑහෙන පිටිවහලක් වේ. භාවනාවෙන් ස්‍රාවය වන නොයෙකුත් සුබවාදී හෝමෝන (සංවෘත්තික හෝමෝන) (Anabolic Hormones) මගින් ශරීර ශක්තිය වැඩිවන නිසා, ක්‍රීඩාවේදී හොඳ ජවයක් ලැබීමට භාවනාව ඉවහල් වේ.

පංච ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණුවල ගුණාත්මක භාවය වැඩිවීම

සතිය දියුණුවීමෙන් තමන් ආහාර ගන්නා විටදී තම අවධානය පිට නොයා, සියයට සියයක්ම තමා ගන්නා ආහාරය කෙරෙහි පමණක් යොමු කිරීමේ හැකියාව ඇත. ඒ නිසා තම ආහාරයේ රසයේ අගය සියයක් තිබේනම් එම සියයම තමන්ට අත්විදිය හැකි නිසා, තමන් ගන්නා ආහාරය වෙනදාට වඩා රසය වැඩි වී ඇති බව දැනෙන්නට පුළුවනි.

ආහාරය පිළිබඳ තමාගේ හොඳ අවධානයක් තිබෙන නිසා, එම ආහාරයේ ප්‍රමාණය පාලනය කිරීමට සහ රස තණ්හාව පාලනය කිරීමට පවා හැකියාව ලැබේ. මේ ආකාරයට ඉන්ද්‍රියන් පහෙන්ම ලැබෙන සංවේදනවල රසය වැඩි වේ.

ඒවා පාලනය කිරීමේ ශක්තිය ද වැඩි වේ. ගෙදර දොරේදී වැඩ කටයුතු හෝ රැකියාවේදී කරන වැඩ කටයුතු වෙත අවධානය සියයට සියයක් යොමු කිරීමේ හැකියාව වැඩිවන නිසා තමන් කරන වැඩ කටයුත්තෙහි කාර්යක්‍ෂමතාව පවා වැඩි වේ.

මානසික ආතිතිය නිසා වැළදෙන කායික රෝග

♠ Posted by ආලෝකය
මානසික ආතතිය දිගින් දිගටම පැවතීමෙන් ඇදුම ගැස්ට්‍රයිටීස් හැදෙන්න පුළුවන්

මානසික ආතතිය කායිකව ඔබ රෝගියෙක් කරන බව මේ වන විට ඔබ හොඳින්ම අසාපුරුදු දෙයක්. ඇත්තෙන්ම මානසික ආතතිය ලෙසින් හඳුන්වන්නේ කුමක්ද? එය රෝග තත්ත්වයක්ද? බොහෝ දෙනෙක් මෙය රෝග තත්ත්වයක් ලෙසින් හැඳින්වුවද ව්‍යවහාරික මනෝ විද්‍යාඥ නිමල් ලියනගේ ප්‍රකාශ කරන්නේ මානසික ආතතිය යනු හුදෙක්ම රෝගී තත්ත්වයක් නොවන බවයි. එසේ නම් මානසික ආතතිය යනු කුමන ආකාරයේ මානසික තත්ත්වයක්ද මනෝ විද්‍යානූකූලව ඊට හිමිවන ප්‍රතිකාර විධි මොනවාදැයි අපි විමසා බලමු.

මනෝ විද්‍යාව යනු, මිනිසාගේ මනසේ ක්‍රියාකාරීත්වය හා චර්යාව පිළිබඳව හදාරණු ලබන විද්‍යාත්මක විෂයකි. මානසික ක්‍රියාකාරීත්වය හා චර්යාව වෙනස්වීම නිසා මනස, ශරීරය හා චර්යාව ආශි‍්‍රතව ඇතිවන අස්වාභාවික හැසිරීම් හඳුනාගෙන ඒවාට යම් අගයක් ලබාදී නිගමනවලට පැමිණීම මෙහිදී සිදුවේ. කෙසේවෙතත් එම අස්වාභාවික තත්ත්වයන් යථා තත්ත්වයට පත් කරවීම හා ඒවා කළමනාකරණය කිරීමට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම යොදා ගනු ලබයි.

මානසික ආතතිය යනු කුමක්ද?

මනෝ විද්‍යාත්මක විස්තර කරන විශේෂිත මානසික තත්ත්වයක් ලෙස මානසික ආතතිය (Anxiety) හඳුන්වාදිය හැකිය. බොහෝ දුරට මෙහි ප්‍රතිකාර ක්‍රම ඒකාබද්ධව පවතින්නේ ව්‍යවහාරික මනෝ විද්‍යාව (Applied Psychology) හා සමගාමීවය. මේ තත්ත්වය බොහෝ දුරට හටගන්නේ පුද්ගලයාගේ මනස තුළය. විවිධ සිතුවිලි, අදහස්, බලාපොරොත්තු, අත්දැකීම් , චිත්තවේග, බිය, අවබෝධය, ව්‍යසන, ජය පරාජය ආදී දේ මෙම ආතතිය හා සම්බන්ධ වූ තත්ත්වයන්ය. කෙසේ වෙතත් මේ ආකාර හේතූන් නිසා පුද්ගලයාගේ ශරීරයේ ස්නායුක හා කායික විද්‍යාත්මක උත්තේජනයන් අනවශ්‍ය හෝ අස්වාභාවික ලෙස හටගැනීමට හැකියි. ඒ හැරුණු විට මෙය රෝග තත්ත්වයක් පමණක් යැයි සීමා කළ නොහැක. මෙවැනි අස්වාභාවික උත්තේජනයන්ගේ අවසන් ප්‍රතිඵලය ලෙස කය සහ මනස ආශි‍්‍රතව මෙන්ම චර්යාව ආශි‍්‍රතවද වෙනස්වීම් දෘශ්‍යමාන වනු ඇත. මෙවැනි අවස්ථාවකදී දැක ගත හැකි රෝග ලක්ෂණ ලෙස අනවශ්‍ය බිය, ශරිරයේ වේදනා කැක්කුම්, පණ නැති ස්වභාවය, තෘප්තියක් නොමැති වීම, තිගැස්සීම්, පපුවේ ගැස්ම වැඩිවීම, වෙව්ලීම, කට වියළීම, විවිධ ක්‍රියා දිගින් දිගට අනවශ්‍ය ලෙස සිදු කිරීම, ක්ලාන්ත ගතිය, නින්ද නොයාම, ශීතල ගතිය, දහඩිය දැමීම, ලිංගික රෝගී තත්ත්වයන්, හිසේ බර ගතිය, හිසරදය, අමතක වීම , සිත එකතැන තබා ගැනීමට නොහැකිවීම ආදිය දැක්විය හැකිය. මේ රෝග ලක්ෂණ බොහෝ දුරට මානසික රෝග තත්ත්ව හා සැසඳේ. කෙසේ වෙතත් මානසික රෝග දිගින් දිගටම පැවතීමෙන් හෘදරෝග අවදානම් ඇතිවිය හැකිබව වෛද්‍යවරු පවසන අතර ඊට අමතරව ඇදුම, ගැස්ට්‍රයිටීස් ආදී කායික රෝග ඇති වීමටද වැඩි ඉඩකඩක් ඇත. සැබවින්ම මානසික ආතතිය නිසා කායිකව ලෙඩ රෝග වැළඳෙනවාට අමතරව වැළඳුණු රෝග සුවවීමද ප්‍රමාද කරවනවා වගේම කායික රෝග සුවපත් වූ පසුවද මානසික ආතතිය ඇති විය හැකියි. උදාහරණයක් ලෙස හෘද රෝග සඳහා කරන බයිපාස් සැත්කම් හා වෙනත් ප්‍රතිකාර ක්‍රම මඟින් රෝගය සුවපත් වූවද මානසික රෝග එම පුද්ගලයන් තුළ ඇතිබව හෘදරෝග පුනරුත්තාපන සායන වලදී ඔප්පු වී ඇත. තවද මෙවැනි මානසික තත්ත්වයන් දිගින් දිගටම පවතින බව සොයාගෙන ඇත. එවැනි රෝගීන්ගේ කායික සෞඛ්‍ය හොඳ මට්ටමක තිබුණත් මානසිකව නිරෝගී සෞඛ්‍යයක් නොමැති නිසා එය පූර්ණ නිරෝගී සෞඛ්‍යයක් වන්නේ නැහැ. මෙවැනි අයට පෙර සඳහන් කළ ආකාරයට විශේෂිත පුනරුත්ථාපන ප්‍රතිකාර මාලාවක් යටතේ පිළියම් ලබා දිය යුතුයි.

මානසික ආතතිය ඇතිවන්නේ ඇයි?

මානසිකව ඇතිවන ආතතිය පුද්ගලයාගේ විවිධ ජීවන ගැටලු සමඟ ඇති වේ. පවුල් ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ජීවිත හා විවාහ දිවියේ ප්‍රශ්න සහිත වන අය අතර ඉතාම බහුල ලෙස මානසික ආතතිය ඇත. මෙවැනි අය තුළ Type A Behaviour නැමැති මනෝ විද්‍යාත්මකව විස්තර කරන චර්යා රටාවක් වර්ධනය වේ. මේ හෙයින් අවසානයේදී ඔවුන් හෘදරෝග වැනි භයානක කායික රෝග තත්ත්වයන්ට ගොදුරු වේ. මෙවැනි අය ආතති කළමනාකරණයට යොමු වීම (Anxiety Management ) ඉතාම වැදගත්.එවැනි අයෙක් නිසිලෙස ආතතිය කළමනාකරණය කළහොත් එවැනි ගැටලු සඳහා ඉතා සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ඔවුන්ට හිමියි. තවද දරුවන් එමෙන්ම තරුණයින් මානසික ආතතියට ගොදුරු වීම ඉතා ඉහළ මට්ටමකින් පවතින අතර ඉගෙනීමේ ගැටලු, නිවෙස්වල ඇති ප්‍රශ්න, ඉගෙනීමේ තරඟකාරීත්වය, සමාජයෙන් ඇතිවන විවිධාකාර වූ බලපෑම නිසා මොවුන් මීට පහසුවෙන් ගොදුරු වේ. ඒ නිසා දිවිනසා ගැනීමට තැත් කිරීම, හා විවිධ ඇබ්බැහිකම් වලට මුල්වන හේතුව බවට පත්වන්නේද මානසික ආතතිය බව විශේෂයෙන් කිවයුතුයි.

මේ කරුණු කෙසේ වුවත් විවිධ හේතු නිසා ඇතිවන මානසික ආතතිය එක් පැත්තකින් අයපත් ලෙස බලපෑම් එල්ල කරන අතර තවත් අතෙකින් ජීවිතයේ යහපතටද හේතුවන බව ඔබ දන්නවාද? ඒ නිසා මානසික ආතතිය යහපත් ආකාරයට බලපාන්නේ කෙසේද කියා අපි ලබන සතියේදී මෙම ලිපිය යටතේ යම් අවධානයට ලක් කරමු.

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.