-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

ග්‍රස්ථිය හා එහි ලක්ෂණ (Obsessive Compulsive Disorder)

♠ Posted by ආලෝකය
අපට වැලදෙන කායික රෝග තරමටම මානසික රෝගද සුලබය. ගැටළුවකට ඇත්තේ මානසික රෝග කායික රෝග මෙන් බොහෝ දෙනා හදුනා නොගැනීමයි. බොහොමයක් මනසේ ඇති වන සංකූලතා කැස්ස හෙම්බිරිස්සාව මෙන් ඇති වී නැති වී යයි. නමුත් සමහර හෙම්බිරිස්සා තත්වයන් නියුමෝනියාව දක්වා නරක් වන්නා සේ මානසික රෝගද දරුණු තත්වයට පත් විය හැක. දැන් අපි බලමු මෙම ග්‍රස්ථිය කියන්නේ කුමක්ද කියල. මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණය වන්නේ. සිතට අසහනය දෙන සුලු සිතුවිලි, ආවේග හෝ රූප එක දිගටම සිතට ඒමය. මෙය සිතා වලක්වා ගැනීමටද නොහැකිය. බොහෝ විට රෝගියාට මෙය කරදයක් වේ. එම නිසා මානසික පීඩනයට ලක්වීමද එම සිතුවිලි අප්‍රසන්න බවට පත් වීමද සිදු වේ. මෙම සිතුවිලි වර්ග කීපයකි.

 1. එක දිගටම ඇති වන සිතුවිලි. (obsessional thoughts) - ඉහත සඳහන් කල අකාරයට වේ.

 2. එකම ක්‍රියාව කිහිප වරක් කිරීමට පොලඹවන සිතුවිලි. (obsessional rituals) මෙය තේරුමක් නැතිව හෝ තේරුමක් ආරූඪ කර ගනිමින් සිදු කරන ක්‍රියාවන්ය. උදා :- - ඇවිදීමේදී යම් ස්ථාන අනිවාර්‍ය්යෙන්ම පසුකර යාමට උත්සාහ කිරීම. - මේසය උඩ හෝ කාමරයේ ඇති භාණ්ඩ සිතට ඇතිවන තුරු නියමිත තැන් වල පිලිවෙලට තැබීම.( කිහිප වරක් එකම භාණඩය ඉතාමත් නිවරැදිව නියම තැන තැබීමට උත්සාහ කිරීම

 3. විවාදාත්මක සිතුවිලි (obsessional doubts / compulsions) දවසේ කරන ක්‍රියාකරකම් ගැන සැකයක් ඇති වීම, එම ක්‍රියාව කිහිප වරක් කිරීමෙන් සැකය සංතෘප්ත කර ගැනීමට උත්සාහ දැරීම. උදා :- - දොරක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම. - කරාමයක් වැසූ බව කිහිප වරක් පරීක්ෂා කිරීම. - විශබීජ ඇතැහි සිතමින් බොහෝ වේලා වරින් වර අත් සේදීම.

 4. ආවේගත්මක සිතුවිලි (obsessional impulses) යම් යම් ආවේගශීලී (දරුණු හෝ ලැජ්ජා සහගත ) ක්‍රියාවන් කිරීමට මහත් අසාවක් ඇති වීම. උදා :- - ගමන් කරමින් තිබෙන රථයකින් පැනීමට සිතීම. - කුඩා දරුවෙකුට පහර දීමට සිතීම - පාලනය කර ගත නොහැකි ලෙස අසභ්‍ය සිතුවිලි සිතට ඒම. (මෙවැන් සිතිවිලි ඇති වුවද ක්‍රියාවට නොනගයි, එම සිතුවිලි ගැන ලැජ්ජා සහගත හා අප්‍රසන්න බවක් ඇති වීම පමණක් සිදු වේ.) 

5. බිය සහගත සිතුවිලි (obsessional phobias and anxiety) මනස අපහසුතාවයට පත් කරන ඉහත සඳහන් ආකාරයේ සිතුවිලි පිළිබඳ බිය ඇති වීම. එම නිසා එවැනි සිතුවිලි ඇති වන අවස්තා මඟ හැරීම. 

ඉහත සඳහන් සිතුවිලි ඇති වීමට අමතරව තවත් මේ හා බැඳුනු ලක්ෂණ දැකිය හැක. මෙම ග්‍රස්ථියෙන් පෙලෙන්නන් බොහෝ විට දවසේ බොහෝ දේවල් යම් පිලිවෙත් පෙලක් ලෙස සිදු කිරීම හා එම පිලිවෙල වෙනස් කල හොත් තමාට හානියක් සිදු වේ යැයි සිතීම. තමා තමාටම නියම කරගත් බොහෝ නීති රීති හා වැලකීම් අනුගමනය කිරීම. පරිපූර්නත්වය පිළිබඳ අධික ලෙස සැලකිලිමත් වීම, එනම් යම් වැඩක් නිම කිරීමට අනවශ්‍යය ලෙස බොහෝ වේලාවක් වැය කිරීම. එම වැඩෙහි අවසානය පිළිබඳව නොසෑහීමට පත් වීම. තමාගේ අදහස් පමණක් නිවරැදි යැයි සිතීම, අන් අයගේ උපදෙස් පිළිගැනීමට අකමැත්තක් දැක්වීම. මුරණ්ඩු ගති ලක්ෂන තිබීම. අනෙක් අයද තමාගේ අදහස් අනුගමනය කල යුතු යැයි සිතීම. ආගමික කටයුතු වල යෙදීමට බොහෝ වේලාවක් ගත විම. එහි පිලිවෙත් ඉතා පරීක්ෂාකාරීව පිලිවෙලකට සිදු කිරීමට උත්සාහ ගැනීම. මෙහිදී ආගමික භක්තියට වඩා එම පිළිවෙත් වැරදීමෙන් තමට නරකක් හෝ හානියක් වේ යයි බිය ඇති වීම. මෙලෙස දවසේ බොහෝ කටයුතු යම් සැකැස්මක් අනුව කිරීමට පෙළඹීම. යම් කටයුත්තක් කරන විට පිලිවෙල පිලිබඳ සෑහීමකට පත් නොවූ විට නැවත නැවත මුල සිට කිරීමට පෙළඹීම. වාර ගණනාවක් කිරීමෙන් විඩාවට හා කේන්තියට පත් වීමද සිදු වේ. කිසිම තේරුමක් නැති කාර්‍ය්යන් පුරුදු ලෙස කිරීමට පුරුදු වී සිටීම. උදාහරණ :-

 නිවසේ සිට පාසලට හෝ රාජකාරී ස්ථානයට යන විට, 

 යම් යම් ස්ථාන අනිවාර්‍ය්යෙන් පසු කිරීම. 

යම් ස්ථාන ලකුණු දෙස බලමින් යාම

 එකම නාම පුවරුවක් පුරුද්දක් ලෙස කියව යාම 

 හිස පීරූ පසු පනාව සෑම විටම එකම ස්ථානයක ඉතා නිවරැදිව තැබීමට උත්සාහ දැරීම

 යම් ක්‍රියාවක් වාර ගණන් කරමින් සිදු කිරීම. වාර ගණන වැරදුනු විට නැවත නැවත කිරීම. 

මෙම සංකූලතාවය ඇති වීමට මොළයේ basal ganglia යන පෙදෙසේ ඇති වන යම් වෙනස්කම් බලපාන බවටත්. ස්නායු සෛල වල ඇති serotonin නම් රසායනිකයේ අසමතුලිත තාවයන්ගේ බලපැමක් මෙයට ඇති බවද, රෝගය වැලදීමට ජාන ගත බලපෑමක් ඇති බවද තවද සමහරක් බැක්ටීරියා (streptococcus) අසාදනයන්ගේ අතුරුපලයක් ලෙස මෙය හට ගත හැකි බවද මෙම රෝගය ඇති වීමට හේතු සොයා බැලීමේදී හමුවන කරුණුය. මෙම කරුණු තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. දැන් ඔබට මෙම ග්‍රස්ථිය නම් මානසික සංකූලතාවය පිළිබඳ යම් වැටහීමක් ඇති යැයි සිතමි. මෙම මානසික ගැටළුකාරී තත්වය පහසුවෙන් සාමාන්‍ය තත්වයට පත් කල හැක අවශ්‍යය වන්නේ තමාට ඇති ගැටළුව හරියාකාරව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමය. එවිට බොහෝ විට ඖෂධ භාවිතයෙන් තොරව වුවද මෙය සාමාන්‍යය තත්වයට පත්කර ගත හැකිය. මේ සඳහා ඕනෑම සාමන්‍ය වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කරන්න. ඔහු අවශ්‍යය පරිදි තවදුරත් උපදෙස් ලබා දී නිසි වෛද්‍යයවරයෙකුට හෝ උපදේශකවරයෙකු වෙත යොමු කරනු ඇත. ඉතා සරල මානසික අභ්‍යාස වලින් මෙම තත්වය ඉතා පහසුවෙන් සුව කරගත හැක. කලාතුරකින් ඖෂධ වල සහයද ලබා ගැනීමට සිදු වේ. තම නිවසේ සමාජිකයින්ගේද සහය ගැනීමෙන් තවත් පහසුවෙන් මෙම තත්වය සුවකර ගතහැක., ඒ සඳහා ඔබගේ වෛද්‍යයවරයා හෝ උපදේශකවරයා උපදෙස් දෙනු ඇත. 66% කටත් වැඩි පිරිසකට නිවරැදි උපදෙස් පිළිපැදීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී සාමාන්‍යය තත්වයට පත් වීමට හැකි වේ. අනෙක් අයටද මදක් පසු වී වුවද නිවරැදි ප්‍රතිකාර ක්‍රම මඟින් සාමාන්‍යය තත්වයට පත් විය හැක. මෙම තත්වය ඇති අය ඉන් ඉතා පීඩාවට පත් වේ. මානසික පීඩනය, කලකිරීමට පත් වීම, අධික ලෙස කාලය නාස්ති වීම, නිතර කේන්තියට පත් වීම වැනි දුෂ්කරතා වලට ලක් වේ. එම නිසා මේ පිළිබඳ සැකයක් ඇත්නම් වෛද‍යයවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට වඩාත් පහසු සැහැල්ලු දිවියක් ලඟා කර ගත හැකි වනු ඇත. මේ සමඟම දිය යුතු ඉතා වැදගත් පණිවිඩයක්ද ඇත! එනම් මානසික රෝග යනු අනිසි ලෙස බිය විය යුතුවත්, සුව කල නොහැකි රෝගවත්, කීමට ලැජ්ජා විය යුතුවත් රෝග වර්ගයක්වත් නොවේ. ඒවාද සාමන්‍ය කායික රෝග මෙන් ඇති වී නැති වී යන, සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය වන තත්වයන්ය. එම නිසා මානසික රෝග පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා විශ්වාස හා වැරදි ආකල්ප දුරු කිරීමට ඔබත් සහාය වන්න. ඉන් සුව කලහැකි බොහෝ මානසික රෝගී තත්වයන් ගෙන් පීඩා විදින අහිංසක ජීවිත ගණනාවක් නිවරැදි ප්‍රතිකාරයන්ට යොමුව සුවය ලබා යලිත් නිරෝගී මනසින් යුතුව සතුටින් ජීවත් වීමට අවස්ථාව ලබනු ඇත! (gimanhalablog හි පලවු ලිපියක් අසුරිනි.OCD පිලිබදව ඉතා ක්‍රමානුකූලව කරැනු මෙම ලිපියේ පෙල ගස්වා ඇති බැවින් එය මෙම පිටුවෙිහිද පල කෙරින.)

මනෝවිද්‍යාත්මක උපදේශනය යනු කුමක්ද?

♠ Posted by ආලෝකය
උපදේශනය (Counselling) යන්න අපට තරමක් නුපුරුදු කි‍්‍රයාවලියක් වුව ද වර්තමානය වනවිට එය ලාංකීය සමාජය තුළ ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වෙමින් පවතිනවා. උපදේශනය මගින් කිසිවිටෙක පුද්ගලයාට උපදෙස් දීමක් සිදු කරන්නේ නැහැ. උපදේශනයේදී පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කොට ඔහු ගේ ගැටලු හඳුනාගැනීමත්, එතුළින් සිය ගැටලුව නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබා දීමත් සිදු කරනු ලබනවා. මානසික ගැටලු සඳහා උපදෙස් ලබාදීම මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological counselling) ලෙස හඳුන්වනවා. උපදේශනය මුළුමනින්ම පාහේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක්. එහිදී පුද්ගලයා කෙබඳු තත්ත්වයක සිටියද ඔහු දෙස විවේචනාත්මකව බලන්නේ නැහැ. ඔහු වරද කරුවෙකි ඔහු අපරාධ කරුවෙකි ආදී ලෙසින් විනිශ්චයකට ලක්කරන්නේ ද නැහැ. උපදේශනයේදී උපදේශනය සඳහා ලක්වෙන ඕනෑම පුද්ගලයෙකු ඉතා ගෞරවනීය පිළිගැනීමකට ලක් කරනු ලබනවා. එමෙන්ම ඔහුගේ ගැටලු දෙස මානුෂවාදී මුහුණුවරකින් බැලීමත් එම ගැටලු විද්‍යාත්මකව විශ්ලේෂණය කොට ගැටලු වලට මුහුණ දීමට සහ ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබාදීමත් උපදේශනය මගින් සිදු කෙරෙනවා.

 අපට උපදේශනය අවශ්‍ය වන්නේ ඇයි? 

 අතීතයේ තිබූ සරල ජීවන රටාව බොහෝ වෙනස්කම්වලට ලක්ව තියෙනවා. අප රට තුළ සිදුවූ සමාජ ආර්ථික පෙරළිය මිනිසා තුළ මානසික ගැටලු සහ මානසික රෝගාබාධ රැසක් නිර්මාණය කර තිබෙනවා. විවිධ හේතුන් නිසා නූතන සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්ව තිබෙනවා. ආතතිය, ක්ලමතය, විශාදය ආදී මානසික රෝග බොහොමයකින් ඔවුන් පීඩා විඳින අතර ඇතැමුන් මානසික ගැටුම් සහ මානසික ගැටලු නිසා සෞඛ්‍ය පිරිහී ගිය තත්ත්වයකට ලක්ව සිටිනවා. පාසල් ළමුන් ප‍්‍රසිද්ධියේ ම කරනු ලබන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා විශ්ව විද්‍යාල සිසුන්ගේ නොයෙකුත් ගැටුම් ආදිය මීට නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. මෙසේ ඇති වී තිබෙන සමාජ පරිහානිය පුද්ගලයා සහ සමාජය කෙරේ බලපානු ලබන්නේ ඉතාමත් අහිතකර ආකාරයකින්. එහෙයින් සමාජ අසහනය තුරන් කරලීමට නිසි ක‍්‍රමවේදයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මනෝ විද්‍යාත්මක උපදේශනය තුළින් සිදු කරනු ලබන්නේ එම කි‍්‍රයාවලියයි. තමාට ගැටලුවක් පැන නැඟුන විට ඇතිවන සිත් තැවුල සහ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා එය විසඳ්‍රගන්නා ආකාරය පිළිබඳ පුද්ගලයාට එතරම් වැටහීමක් ඇතිවන්නේ නැහැ. එබැවින් තමන්ට කුමනාකාරයේ ගැටලුවක් තිබුණ ද එය විසඳ්‍රගැනීම සඳහා ඔබ විධිමත් උපදේශනයකට යොමුවීම ඉතා වැදගත් කරුණක්. 
   
 උපදේශනය කා සඳහාද? 

ජීවත් වීම යනු ප‍්‍රශ්නවලට මුහුණ දීම සහ ඒවාට විසඳුම් සෙවීම ලෙස දක්වන්න පුළුවන්. බොහෝ පුද්ගලයින් විවිධ ප‍්‍රශ්න, ගැටලු හා රෝගාබාධ නිසා නිරන්තරව පීඩා විඳීනු ලබන නමුත් ඒවා විසඳ්‍රගැනීම පිළිබඳ නිසි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. දුක, වේදනාව, වෛරය, පළිගැනීමේ චේතනා, කළ කිරීම, බිය සැකය ආදී චිත්තවේගයන්ගෙන් පීඩා විඳින අය සඳහා උපදේශනය අත්‍යාවශ්‍යයි. එතුළින් සහනශීලී සුවදායක, ප‍්‍රීතිමත් සහ ප‍්‍රියජනක ජීවිතයක් ඔබට ලබා දෙනවා. විසඳුම් සොයා ගත නොහැකි ගැටලුවකට මැදිව සිත් වේදනා විඳින, එහි අතුරු ඵලයක් ලෙස මානසික පීඩාවන්ට ගොදුරු වූ අය සඳහා ද උපදේශනය අත්‍යාවශ්‍යයි. ඔබේ ගැටලුවට කිසිම පිළිතුරක් නැතැයි සිතා සියදිවි නසා ගැනීමට උත්සාහ දරන එසේ සිතන අය සඳහාත් උපදේශනය අත්‍යවශ්‍යයි. උපදේශනය මගින් ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරනවා.

උපදේශනය ලබා ගත යුත්තේ කා වෙතින්ද?

 තමන් උපදේශනය වෙත යොමු වනු ලබන මනෝ විද්‍යාත්මක උපදේශකවරයා හෝ උපදේශකවරිය ඒ සඳහා වෘත්තිය සුදුසුකම් ලත් පළපුරුදු පුද්ගලයෙක්ද යන්න සොයා බැලීම ඉතා වැදගත් කරුණක්. වෘත්තීය සුදුසුකම් නොලත් අධ්‍යාපන සුදුසුකම් නොමැති බොහෝදෙනෙක් උපදේශන කාර්යයෙහි නියැලෙන බැවින් ඔවුන් පිළිබඳ නිසි ලෙස සොයා බලා උපදේශනයට යොමු විය යුතු වෙනවා. එසේ නොවූ විට එය පවතින ගැටලු වලට පරිබාහිරව තවත් ගැටලු නිර්මාණය විය හැකියි. තම ගැටලු සහ සිත් තැවුල් හෙළි කරීමට ඇති ලැජ්ජාවත් බියත් නිසා බොහෝ දෙනෙක් උපදේශනයට යොමු වීමට මැලිකමක් දක්වන අතර නිරන්තර පීඩාවන්ගෙන් කල්ගෙවනවා.

මානසික ආතතිය යනු කුමක්ද? 

 මනෝ විද්‍යාවේ දී අප මානසික රෝගාබාධ ප‍්‍රධාන කොටස් 02 කට වර්ගීකරණය කොට දක්වනවා. ඒ නියුරෂීය රෝගාබාධ සහ සයිකෝමය රෝගාබාධ නමින් ඉන් මානසික ආතතිය අයත්වන්නේ නියුරෝෂිය රෝගාබාධ ගණයටයි. ඉතා සරලව හැඳින්වුවහොත් මානසික ආතතිය යනු අපගේ යහපත් දිවි පැවැත්මට අනතුරුදායක සහ තර්ජනයක් විය හැකි අප අත්දකින අප‍්‍රසන්නකාරි අමිහිරි මානසික තත්ත්වයක් ලෙස හදුන්වන්න පුළුවන්. ඇතැමුන් මෙම පීඩාකාරී තත්ත්වයන්, අයහපත් චිත්තවේගයන් ආදියට දක්වනු ලබන අයහපත් ප‍්‍රතිචාරයක් ලෙස දක්වන්න පුළුවන්. මානසික විඩාව අපගේ මනසට මෙන්ම අපගේ සිරුරට ද ප‍්‍රතිචාර දක්වනවා. එමගින් අපගේ මානසික මෙන්ම කායික වෙනස්කම් ද ඇති කරනවා. මානසික විඩාව සැමවිටම අපව අසහනයට ලක් කරනවා.අපගේ දෛනික ජීවිතය සමබරව නිසි අයුරින් පවත්වාගෙන යෑමට බාදා පමුණුවනවා. ඉන් අප තුළ ඇති විය යුතු උනන්දුව, උද්යෝගය හීන කරනු ලබනවා මෙන්ම අප මානසිකව වෙහෙසකාරී තත්ත්වයකට ඇද දමනවා. කායික වශයෙන් ගත් කළ , හෘද ස්පන්දනය වේගය වැඩි වීම , මාංශ පේශි තදවීම සහ වේදනා ඇතිවීම , අධික ලෙස දහදිය දැමීම, හිතෙහි ඇතිවන හිරිගතිය ඇතැම්විට දෑත් වෙව්ලීම , තොළ කට සිඳී යාම, හිසරදය ආදි රෝග ලක්ෂණ අපට දකින්නට පුළුවන්. මානසික පීඩනට එසේත් නැතහොත් මානසික පීඩාව අප සැමටම පොදු තත්ත්වයක්. අප ජීවිතයේ බොහෝ අවස්ථාවන්වල පීඩාවන්ට ගොදුරු වෙනවා. අප බොහෝ කාර්ය බහුල වූ අවස්ථාවන වල, යම් කිසි කාර්යයක් ඉටු කිරීමට නිම කිරීමට නිශ්චිත කාලවකවානුවක් පමණක් ඇති විට අපගේ ජීවිතයේ යම් සුවිශේෂී අවස්ථාවක් උදා වූ විට අප නිරායාසයෙන්ම පීඩනයට මුහුණපානවා. මෙම තත්ත්වය ඇතැම්විට ධනාත්මක විය හැකියි. උදාහරණයක් ලෙස විවාහ දිවියට එළඹීමේදි, නව රැකියාවක් ලැබීමේ දි හදිසි මුදල් ප‍්‍රතිලාභයක් (උදා ලෙස ලොතරැයි දිනුමක්) ලැබීමේදි අපට ධනාත්මක ආතති තත්ත්වයක් ඇති වන්නට පුළුවන්. බොහෝ අවස්ථාවල එය එතරම් හානිකර වන්නේ නැහැ. එහෙත් ඍණාත්මක ආතති තත්ත්වයකට මුහුණ දෙද්දී අප එය අත් දකින ආකාරය ඉහත තත්ත්වයට වඩා වෙනස් වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබගේ ආයතන ප‍්‍රධානියා ඔබට දොස් නගනවායැයි සිතන්න. පළමු දිනයේ ඔබ එය නොසලකා හරිනවා. එහෙත් දිගින් දිගටම ඔබ නොකඩවාම මෙම තත්ත්වයට මුහුණ පානවා. එහි දී ඔබ තුළ නිරායාසයෙන්ම ඍණාත්මක මානසික පීඩනයක් (Stress) ගොඩ නැගෙනවා. දික්කසාදය, පවුලේ සමීපතම පුද්ගලයෙකු මිය යාම, සුව කළ නොහැකි රෝගයක් ඇති බව දැන ගැනීම , රැකියාවේ ගැටලු, කාර්ය බහුලභාවය අප තුළ අධික ලෙස මානසික පීඩනට ඇති කරවන්නට සමත්වෙනවා. ඇතැම් පුද්ගලයන්, තම පෞරුෂ ආබාධ , තම දුර්වලතා, ශාරීරික දුබලතා හේතුකොට ගෙන පීඩනයට මුහුණපානු ලබන අතර ඇතැමුන් අධික ‘ බිය” නිසා ද පීඩනයට ගොදුරු වෙනවා. උදාහරණ ලෙස ගුවනින් යාම , සර්පයන්ට සතුරු තර්ජන ත‍්‍රස්ත උවදුරු දක්වන්න පුළුවන්. අධික බිය සේම, අධික දුක, අදිය කලබලකාරිත්වය, අධික කෝපය, වෛරය වැනි මානසික තත්ත්වයන් නිසා ද බොහෝ විට මානසික පීඩනය ඇතිවන්න පුළුවන්. මානසික ආතතිය අපට ඇතැම්විට ධනාත්මන ප‍්‍රතිඵල ගෙන දෙනවා. අපට අපගේ ඉලක්ක කරා යාමට එමගින් ශක්තිය ජනනය කර දෙනු ලබනවා. අප අනතුරුදායක තත්ත්වයන්ගෙන් මිදීම සඳහා සංඥා ආලෝක නිකුත් කොට ඉන් ගැලවීම සඳහා සංරක්ෂණ කි‍්‍රයාදාමයකට අපව සකස් කරනවා. එහෙත් දිගින් දිගටම පවතින ආතතිමය තත්ත්වයන් අප කෙරෙහි බලපානු ලබන්නේ ඍණාත්මක ආකාරයෙන්, එමගින් අපව කායික මානසික දෙයාකාරයෙන්ම රෝගී කරවනු ලබන අතර මානසික පීඩනය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අපට විවිධ ගැටළු රැසකට මුහුණ පාන්නට සිදුවෙනවා.

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.