-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

ආතතිය කළමණාකරනය

♠ Posted by ආලෝකය at 8:27 PM
මානසික ආතතිය සරලව කළමනාකරණය කරන්නේ කෙසේද?

මානසික ආතතිය හොඳ මෙන්ම නරක යන අංශ දෙක යටතේම පැහැදිලි කළහැකි මාතෘකාවක් බවට පත්ව ඇතිබව ආරෝග්‍යා පාඨකයින්වන ඔබ මේ වන විට හොඳින්ම දන්නා කරුණක්. ඒ වගේම එය කායික සෞඛ්‍ය කෙරෙහිද විශාල බලපෑමක් ඇති කරන බව මනෝ වෛද්‍ය විද්‍යානුකූලව පිළිගත් සත්‍යයක්. විශේෂයෙන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, ශල්‍යකර්ම, තුවාලවීම් ආදිය නිසාද මානසික ආතතිය විවිධාකාරයෙන් ඇතිවනවා පමණක් නොව විවිධ චර්යාමය වෙනස්කම් සමඟද ජීවිතයට බලපෑම් ඇති කරයි.
(මෙම ලිපිය ව්‍යවහාරික මනෝ විද්‍යාඥ නිමල් ලියනගේ මහතා සමඟ පුවත්පතක තිබු සාකචිඡාවක් ඇසුරින් සකසු වූවකි)


මානසික ආතතිය නිසා ඇතිවන මානසික රෝග පිළිබඳ පැහැදිලි කළොත්?

විවිධාකාර සාධක හේතුවෙන් මානසික ආතතිය මුල් කරගත් මනෝ විද්‍යාත්මක රෝග රාශියක් හට ගනියි. මේ නිසා ඇතිවන බලපෑමෙන් ජීවිතයේ වටිනාකමට යම් හානියක් සිදුවේ. ඇතැම්විට මිනිසා විසින් ඇතිකර ගනු ලබන විවිධ පුරුදු ඇබ්බැහි වීම්ද අවසානයේදී මානසික ආතතියෙන් අවසන් වේ. මේවා මානසික රෝග වශයෙන් පමණක් නොව කායික රෝග වශයෙන්ද වැළදීමේ වැඩි ඉඩකඩක්ද පවතියි. ඒ වගේම සිතේ ඇතිවන වැරදි අස්වාභාවික සිතුවිලි, මතිමතාන්තර, අදහස්, ආකල්ප ආදිය හේතුකොට ගෙනද මානසික ආතතිය වර්ධනය වේ.

ඇතැම්විට ජීවිතයේ විවිධාකාර වූ ප්‍රශ්න ඇතිවීමට මානසික ආතතිය ද මානසික ආතතිය නිසා විවිධාකාර ප්‍රශ්නද ජීවිතයට ඇතිවිය හැකියි. මෙවැනි කරුණු කාරණා නිසා මානසික ආතතිය අපගේ ජීවිතයට බලනොපාන ආකාරයෙන් පවත්වා ගැනීමට සෑම විටෙකම අප උත්සාහ ගත යුතුයි. විශේෂයෙන් කායික සහ මානසික සෞඛ්‍යයට තර්ජනයක් මේ නිසා නොවිය යුතුයි. මේ සඳහා මානසික ආතති කළමනාකරණය (Anxiety Management) ඉතා වැදගත් වේ.

මානසික ආතති කළමනාකරණය පිළිබඳව පහදන්න.

ඇත්තෙන්ම ඖෂධ භාවිතයෙන් තොරව සිදුකරනු ලබන මෙම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ලොව පුරා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විවිධ තත්ත්වයන් යටතේ පවත්වාගෙන යනු ලබයි. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ආතති කළමනාකරණය ඉතාම සාර්ථකව සිදු කරනු ලබයි. නමුත් විශේෂිත අවස්ථාවන්වලදී මානසික ආතති කළමනාකරණය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර පදනමක් මත කළ යුතුව ඇත.

මානසික ආතති කළමනාකරණය සරලව කළහැකි ආකාර මොනවාද?

මේ සඳහා මූලික වශයෙන් ආතතිය ඇතිවීමට බලපාන හේතුව පිළිබඳ හඳුනා ගත යුතුයි. ඒ මෙන්ම මනස සන්සුන් කර ගැනීමද ඉතා වැදගත්. මේ සඳහා විශේෂිත ක්‍රමවේද පවතින අතරම අප හැමදෙනාටම ආවේනික ක්‍රමද මේ අතර වේ. මෙහිදී මත්පැන් පානය වැනි ක්‍රමද ඇතැම් අය අනුගමය කළද ඒවා ඊට කිසිසේත්ම සුදුසු පිළිවෙත් නොවේ.ඒ අනුව සමාන්‍යයෙන් පුද්ගලයෙකුට මනස සන්සුන් කර ගැනීමට සංගීතයට සවන්දීම, ආගමික වතාවත් වල නිරතවීම, වැනි ක්‍රියාවන් අනුගමනය කළ හැකියි. ඊට අමතරව තමා ආතතියට පත් කරන පරිසරයෙන් ඉවත්වීම, පොත්පත් කියවීම, ගුවන් විදුලියට සවන්දීම, රූපවාහිනිය නැරඹීම, චිත්‍ර ඇඳීම ආදී ක්‍රියාවන්ද යොදාගත හැකියි. මින් කුමන ක්‍රමයක් හෝ යොදා ගැනීමෙන් පසුව දෙවැනි පියවර ලෙස ආතතිය ඇතිවීමට හේතුව පිළිබඳව සන්සුන්ව සොයා බලන්න.එම අදාළ හේතුව පිළිබඳ අවබෝධයක් ඇතිවූ පසුව ඊට යම් යම් ක්‍රම තුළින් පිළියම් යොදාගැනීමෙන් ආතතිය කළමනාකරණය කර ගැනීමට තමන්ට හැකියාවක් ලැබේ. මේ වන විටත් බොහෝ පිරිසක් තමාට ආවේනික ක්‍රම මඟින් මෙය පාලනය කරගැනීමට උත්සාහ කරයි. මේ ක්‍රමවේද අතර අන් අයගේ අදහස් වලට ගරු කිරීම, අන් අයගේ ක්‍රියාවන් පිළිබඳ කෝප නොවී සිටීමද ආතති කළමනාකරණයේ එක් උපක්‍රමයක්.

එමෙන්ම අන් අයගේ ගැටලු, ප්‍රශ්න, අපහසුතා දුර්වලතා පිළිබඳ අවබෝධයක් ලබා ගෙන එවැනි අය සමඟ ආශ්‍රයද වඩා හොඳ පිළියමක්. එමෙන්ම තමා හැසිරෙන පරිසරයේ සාමාන්‍ය තත්ත්වයට අනුව හැඩ ගැසීමද ආතති කළමනාකරණයට හොඳ මඟක්. මෙය රැකියා ස්ථානයට පමණක් නොව නිවසටද අදාළ කරගත හැකි තවත් විශේෂත්වයකි. තවද අන් අයගේ ගැටලු ප්‍රශ්න අපහසුතා, දුර්වලතා පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ අය සමඟ ජිවත් වීමද ආතතියෙන් තොරව ජීවත් වීමට කදිම මඟක්. එවැනි ආශ්‍රයන් තම මානසිකත්වය යහපත්ව තබා ගැනීමට උපකාරී වේ.මීට අමතරව තමාගේ අඩුපාඩු, දුර්වලතා, දැනුම, හැකියාව පිළිබඳව අවබෝධයක් ලබාගෙන ජීවිතය ගත කිරීම ආතති කළමනාකරණයට යොදාගත හැකි තවත් හොඳ උපක්‍රමයක්. මෙමඟින් තමාගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය ආකාරයට සන්සුන් මනසකින් කරගත හැකිවේවි.

0 comments:

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.