-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

ඔබ නිවරදිද යයි ඔබ සිතනවාද ? Obsessive Compulsive Disorder

♠ Posted by ආලෝකය at 8:26 PM
තමන් හිතන දේ පමණක් නිවැරැදි යැයි සිතීම මානසික ලෙඩක්ද?

සුජිත් වයස අවුරුදු 30ක් පමණ වන තරුණයෙක්. ඔහු අමුතුම ජිවන රටාවක් අනුගමනය කළ අයෙක්. තමාටම ආවේනික අදහස්, සිතුවිලි, මතිමතාන්තර, පුරුදු, චර්යාවන් රැසක් තිබුණු අතර ඒ සියල්ල ඔහුගේ ජීවිතයේ සියලු අංශ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන ලදී.ඒ නිසා සුජිත්ට ඔහුටම පමණක් ආවේනික අසාමාන්‍ය පුරුදුවලින් යුක්ත ජීවිතයක් හිමිවෙලා තිබුණා. මේ සඳහා කෙතරම් ප්‍රතිකාර ලබා ගත්තද එමඟින්ද ඔහුට වැඩි වෙනසකට යාමට නොහැකි වී තිබුණි. ව්‍යවහාරික මනෝවිද්‍යාඥ ආචාර්ය නිමල් ලියනගේ පවසන ආකාරයට සුජිත්ට ඇති වී තිබුණේ OCD රෝග තත්ත්වයයි. OCD යනු Obsessive Compulsive Disorder යන්නයි.මෙවන් වූ තත්ත්වයන්ගෙන් පීඩා විඳින අය අද සමාජය තුළ බොහෝමයක් සිටී. මෙවැනි අයගෙන් දැකගත හැකි මානසික තත්ත්වයන් ගණනාවකි. ඒවා මොනවාදැයි විමසා බලමු.

තමන් සිතන දේ තමන්ට වැටහෙන දේ පමණක් නිවැරදි යැයි සිතීම

මොවුන්ගේ විශේෂිත ලක්ෂණයක් වන්නේ තමන් සිතන දේ තමන්ට වැටහෙන දේ පමණක් නිවැරදිය යැයි සිතීම මෙන්ම තමන් පුරුදු වූ ජීවන රටාව වෙනස් කිරීමට නොහැකි හෝ අකමැති වීමයි. මීට හේතුවී ඇත්තේ ඔවුනගේ මනස තුළ තිබෙන තියුණු මානසික ආතතිමය තත්ත්වයන්ය.මෙම ආතතිය විවිධ ආකාර හා අස්වාභාවික වේ. ඒ වගේම තමා යම් ක්‍රියාවක් එම අදාළ අවස්ථාවේදීම නොකළොත් තමාට ඉන් අයපතක් වේවි, තමන්ට හිතවත් අයට යම් යම් කරදර ඇති වේවි හෝ තමන්ට කිසිවක් කර ගැනීමට නොහැකි වේවි ආදී වශයෙන් සිතුවිලි රාශියක් හට ගනියි.මේ සිතුවිලි සමඟම හිත තුළ මතුවන මානසික පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් විවිධ අස්වාභාවික ක්‍රියාවන් සිදු කරයි. ඒවා තමාට නොවැටහුණත් තමා වටා නිරීක්ෂණය කරන අයට ඒ බව පැහැදිලිව වටහා ගත හැකියි.මෙහිදී සිතට විවිධාකාර සිතුවිලි ගලා එන අතර ඒවා ඉතාමත් අස්වාභාවිකය. ඇතැම් රෝගී අය පවසන ආකාරයට මෙම සිතුවිලි පාලනයකින් තොරව සිතට ගලාගෙන පැමිණෙයි.

විවිධ ක්‍රියාවන් අසීමිතව සිදුකිරීම

මෙවුන් අත සේදීම, කකුල් සේදීම, නෑම, පිරිසුදු කිරීම ආදිය බහුලව සිදු කරයි. තවද දිගින් දිගටම ඒවා කිරීමට පෙළඹෙන්නේ එම ක්‍රියාවන් දිගින් දිගටම කළත් ඉන් තෘප්තියක් නොලැබෙන බැවිනි. ඒ වගේම මනසට පැමිණෙන ඇතැම් සිතුවිලි, (අත්වල කුණු ඇතිබව, විෂබීජ ඇතුල් වේ යන බිය, අප්පිරියාව) ද මීට බලපෑ හැකියි.මෙහෙයින් සිත තුළ අනවශ්‍ය මානසික විඩාවන්, පීඩනයක් හා බියක් ඇතිවිය හැකියි. ඒ පමණක් නොව මෙමඟින් පුද්ගලයාගේ ජීවිතයටද දැඩි බලපෑමක් සිදු වේ.කෙසේ වෙතත් මේ සිදුවීම් අතුරින් සමාජයේ බහුලව දැකගත හැකි තත්ත්වයක් ලෙස සිතා අත්වල පිරිසුදුකම පිළිබඳ ශරීරයේ අන් ස්ථානවල පිරිසුදුකමට වඩා සැලකිලිමත් වීම ආදිය හදුනාගත හැකියි.
තමන්ගේ ගෙදර මේසය ආදී තැන්වල ඇති බඩු මුට්ටු ආදිය නිරන්තරයෙන් එකම ආකාරයටකට තැබීම

මෙහිදී යම්ලෙසක කුමන ආකාරයකින් හෝ ඒවා වෙනස් වූවොත් ඒ තුළ ඇතිවන මානසික ආතතිය නැතිකර ගන්නේ නැවතත් ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීමෙන් අනතුරුවය. මෙය අදාළ පුද්ගලයන්ට පමණක් නොව අන් අයටද මහත් කරදරයකි.

යමක් නිම කළද ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම


මෙම තත්ත්වය බහුල වශයෙන් පවතින්නකි. ඒ නිසා එම පුද්ගලයින් දිගින් දිගටම එම ක්‍රියාවන් පරීක්ෂා කිරීම, අත ගා බැලීම, ඒ දෙස වරින් වර බැලීමද සිදු කරයි. උදාහරණ ලෙස දොරක් වසාගිය විට නැවත නැවත හැරී බැලීම හෝ එය නැවත නැවත පරීක්ෂා කිරීම ආදියයි.කෙසේ වෙතත් මීට හේතු වන්නේ තමා කළ කාර්ය පිළිබඳ විශ්වාස නොමැති වීම හා තමා කළ කාර්ය පිළිබඳ පවතින අස්ථානගත බියකි. මේ නිසා ඔවුන් දැඩි මානසික ආතතියකින් ගත කරයි.

කිසිදු කාර්යයක් නිසි වෙලාවට නොකිරීම හා නිකරුණේ කාලය කා දැමීම

මෙහිදී ඇතැම් පුද්ගලයින් තමාට යම් කාර්යයක් කිරීමට අවශ්‍ය වූ විට විවිධාකාර සිතුවිලි සිතමින් හෝ ඒ පිළිබඳ අනවශ්‍ය ලෙසට විපරම් කරමින් තම කාලය ගත කරයි. මේ සඳහා හේතු වන්නේද මානසික ආතතියයි. ඔවුන් විසින් තමන්ට ඇතිවන මානසික ආතතිය නැතිකර ගන්නේ විවිධ සිතිවිලි සිතින් මවා ගනිමින්ය.මේ පුරුද්ද නිසා කිසිදු කාර්යයක් නිසිලෙස ඉටු කර ගැනීමට නොහැකි වීම ජීවිතයේ විවිධාර ගැටලු ඇතිකර ගනියි. ඒ වගේම තම සිත තුළ ඇති දේ හා තමා තීරණය කළ දේ වෙනස් කර ගැනීමද මොවුන්ට ඉතා අපහසුය. එකම රටාවක ඒකාකාරී ජීවන ක්‍රමයක් හිමි මොවුන් මානසික ආතති කළමනාකරණයට අපොහොසත්ය. තවද මෙවැනි අය යම් යම් ස්ථානවලට යාමට දැඩි බියක් දක්වයි. එසේ ගිය හොත් තමාට විවිධ ලෙඩ රෝග කරදර ඇති වේ යැයි බියකින් පසුවන නිසා එම ස්ථාන මඟහැර සිටියි.

ප්‍රතිකාර

මොවුන් සඳහා කායික විද්‍යාත්මක හා මානසික වෛද්‍ය ප්‍රතිකාර පවතියි. ඒ වගේම වෛද්‍ය විද්‍යානුකූලව ඖෂධමය ප්‍රතිකාරද පවතියි. කෙසේ වෙතත් මෙවන් රෝගී තත්ත්වයකට පත් වූ අය මනෝ විද්‍යාත්මක ඇගයීමකට විශ්ලේෂණයකට භාජනය කර ඖෂධ වලින් බැහැරවද ප්‍රතිකාර කළ හැකිය.

ඒ වගේම ඖෂධ ලබා ගත්තද එම ක්‍රම වලින්ම ප්‍රතිකාර ක්‍රම භාවිතා කර මානසික චර්යා නිවැරදි කිරීම මානසික ආතති කළමනාකරණ සිතුවිලි පාලනය, සිතුවිලි ඉවත් කරලීම, මනස සන්සුන්කර ගැනීම, පෞරුෂත්වය වර්ධනය, ආකල්ප වෙනස්කර ගැනීම යථාර්ථවාදීව සිතීම, ශාරීරික චර්යා නිවැරදි කර ගැනීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

(dinamina ලිපියක් ඇසුරිනි)

1 comments:

This comment has been removed by the author.

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.