-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

භීතිය

♠ Posted by ආලෝකය at 8:12 PM
ඔබටත් අනියත බියක් ඇතිවෙනවද

(මෙම ලිපිය මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර මහතාගේ සාකචිඡාවක් ඇසුරින් සකස් කර ඇත)
--------------------------------------------------------------------------------------------------------------
තමාට කිසියම් රෝගයක් ඇති බව නිතරම පවසන පුද්ගලයන් සමහර විට ඔබටත් හමුවී ඇති. සමහරුන් තමන්ට බරපතළ රෝගයක් ඇතැයි කියා කලින් කලට වෛද්‍යවරුන් මාරුකරමින් අධික වියදම් සහිත වෛද්‍ය පරීක්ෂණවලට යොමු වෙමින් ජීවිතේ ගෙවනවා. ඊට අමතරව හූනන්, කැරපොත්තන් මකුළුවන් වැනි සතුන්ටත් අධික බියක් දක්වන අයත් සමාජයේ සිටිනවා. ඇතැම් පුද්ගලයින් පිරිසක් ඉදිරියට යාමට ද දක්වන්නේ අධික බියක්.

ඉහතින් දැක්වූ නිතරම අනියත බියක් ඇතිවන්නේ මානසික රෝගී තත්ත්වයක් නිසාද?මෙම ලිපියෙන් සාකචිඡා කෙරෙන්නේ මෙ පිලිබදවය

යාඥා මඟින් රෝග සුවකළ හැකිද?

මනෝ චිකිත්සාව (Psychotherapy) මඟින් ඖෂධ භාවිතා නොකර නිශ්චිත මානසික රෝග කීපයකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. මනෝ වෛද්‍යවරුන් ඒ සඳහා නිශ්චිත විධි ක්‍රම කීපයක් අනුගමනය කරනවා. එසේ නැතිව සෑම රෝගයක්ම යාඥා කිරීමකින් සුව කළ හැකි බව තවම විද්‍යාත්මකව තහවුරු වී නෑ.භාවනාව ජීවිතයට ඉතාම වැඩදායී දෙයක් වුවත් විෂාදය වැනි රෝග තත්ත්වයකින් පෙළෙන විට භාවනා කිරීම නුසුදුසු බවයි හෙළිවී තිබෙන්නේ.විෂාදය රෝගින් තුළ තිබෙන්නේ අශුභවාදී සිතිවිලි. විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් භාවනාව මඟින් සිත එක අරමුණකට ගැනීමේදී අශුභවාදී සිතිවිලි නැවත නැවත මතුවන්නට පටන්ගන්නවා. එය විෂාදය වැඩිවීමට හේතුවක්. විෂාදයෙන් පෙළෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමේදී කළ යුතු වන්නේ මොවුන්ගේ සිතීමේ පරාසය වැඩිකර ඔවුන් තුළ ඇති තනිකම නොහැකියාව යන හැඟීම් ඉවත් කිරීමට ක්‍රියා කිරීමයි.

ඇතැම් පුද්ගලයින් තමන් විශාල රෝගයකින් පෙළෙන බව නිතර සිතනවා. නිතර නිතර වෛද්‍යවරුන් හමුවීමට යනවා. නිතර වෛද්‍ය පරීක්ෂණවලට යොමුවෙනවා. එය කිසියම් මානසික රෝගී තත්ත්වයක්ද?

ඔව්. එය සරල මානසික රෝගී තත්ත්වයක්. එවැනි සරල මානසික රෝගවලින් පෙළෙන්නන් සමාජයේ විවිධ තරාතිරම්වල, විවිධ වයස් මට්ටම්වල සිටිනවා. ඒ තත්ත්වයන් නිවැරැදිව හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් පහසුවෙන් මිදීමේ හැකියාව ලැබෙනවා. ඒ රෝග තත්ත්වය හඳුන්වන්නේ Anxiety Disorders යනුවෙන්.ඒ රෝග තත්ත්වයේ ප්‍රභේද කීපයක්ම තිබෙනවා.Somatisation disorders ඉන් එක් ප්‍රභේදයක්. එම තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් මතු කරන්නේ ශාරීරික රෝග ලක්ෂණ. ඔවුන් එම ශාරීරික රෝග ලක්ෂණ වෛද්‍යවරුන්ට පවසා ඒ සඳහා බෙහෙත් ඉල්ලා සිටිනවා.වෛද්‍ය පරීක්ෂණ සිදු කළත් ඔවුන්ට කිසිදු ශාරීරික ආබාධයක් සොයා ගන්න බෑ. ඔවුන් වෙතින් පෙන්නුම් කරන විශේෂ ලක්ෂණයක් වන්නේ ශරීරයේ නිතර පවතින දැවිල්ලක්, කැක්කුමක්, වැඩ කිරීමේ නොහැකියාවක් ඇති බව පැවසීම. “මට කිසිම වැඩක් කරගන්න බැහැ” ඔවුන් නිතර නිතර කියන කතාවක්.ඒ වගේම කිසිම වෛද්‍ය පරීක්ෂණයකින් ඔවුන් තෘප්තිමත් වන්නේ ද නෑ. ඒ නිසා ඔවුන් නිතර වෛද්‍යවරුන් මාරු කරනවා. එවැනි රෝගීන් තමන්ට කිසිවක් කරගත නොහැකි බව පවසන නිසා මොවුන්ගේ වැඩ කටයුතු නිවසේ අනෙකුත් අයට කරදීමට සිදුවෙනවා.අවසානයේ මොවුන් රැකියාව නොකරන තත්ත්වයට පවා පත්වෙනවා. එයින් පවුලේ උදවිය පවා පීඩාවට පත්වෙනවා. එම තත්ත්වය ඉතා පහසුවෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවපත් කරගත හැකියි.Anxiety disorder යටතට ගැනෙන තවත් සරල මානසික රෝග තත්ත්වයක් Hypochondrical disease නම් තත්ත්වයයි.එම රෝගයෙන් පෙළෙන්නන් තමන්ගේ ශරීරයේ නිශ්චිත ස්ථානයක රෝගයක් ඇති බව විශ්වාස කරනවා. ඇතැම් විට වෛද්‍යවරුන් හමුවූ විට ඔවුන් රෝගයේ නමත් පවසනවා. එම රෝගීන් ද තමන්ගේ රෝගය හඳුනාගැනීම සඳහා විවිධ වෛද්‍යවරුන් වෙත යනවා. වෛද්‍යවරුන් තිබෙන පරීක්ෂණ සියල්ලක්ම සිදුකර රෝගයක් නැතැයි කීවත් එය පිළිගන්නට එම රෝගීන් සූදානම් නෑ.මීට පෙර සඳහන් කළ Somatisation disorder තත්ත්වයෙන් පෙළෙන රෝගීන් මෙන් වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ඉල්ලන්නේ නෑ. ඔවුන් පවසන්නේ තම රෝගය හඳුනාගැනීමට වෛද්‍ය පරීක්ෂණ කරන ලෙසයි. තමන්ගේ වෛද්‍ය පර්යේෂණ ඇතුළත් ෆයිල් ගොන්නක්ම ඔවුන් සතුව තිබෙනවා.

මීළඟ රෝග ඛාණ්ඩය වන්නේ Panic disorders නම් රෝග තත්ත්වයයි. එය ස්නායු ආබාධයක් නිසා ඇතිවන්නක්.අපගේ ශරීරයේ තිබෙන අනිච්ඡානුග ස්නායු පද්ධතියේ තිගැස්මක් නිසා හෘදය සුළු වේලාවක් වේගයෙන් ගැහීමට පටන්ගන්නවා. ඒ අතරම වේගයෙන් හුස්ම ගැනීමටත් දහදිය දැමීමටත් පටන් ගන්නවා. ඒ කාංසාවේ රෝග ලක්ෂණ.එහෙත් මේ රෝගීන් තම පපුව ගැහෙන්නේ හෘද රෝගයක් නිසා බව සිතනවා. ඒ නිසා ඔවුන් කායික වෛද්‍යවරුන් හෘද රෝග පිළිබඳ වෛද්‍යවරුන් වෙත යනවා. එසේම ඔවුන් තමන්ගේ හුස්ම හිරවී තමන් මිය යාවි යැයි සිතනවා.විෂාදය (Depression) මේ රෝග ඛාණ්ඩයට අයත් වන අනෙක් රෝග තත්ත්වයයි. විෂාදය රෝගීන් ද සැමවිටම තමන්ට කායික රෝගයක් ඇති බව ප්‍රකාශ කරනවා. ඔවුන් ගේ ප්‍රකාශවල විශේෂත්වය වන්නේ ඔවුන් ප්‍රකාශ කරන කායික රෝග ලක්ෂණය ශරීරයේ කිසියම් පද්ධතියකට අනුබද්ධ නොවීමයි. උදාහරණයක් ලෙස ඔවුන් “මගේ ඇඟ පුරාම දැවිල්ලයි” යනුවෙන් පැවසීම දක්වන්න පුළුවන්. එය ශරීරයේ කිසියම් පද්ධතියකට සම්බන්ධ ප්‍රකාශයක් හෝ රෝග ලක්ෂණයක් හෝ නෙවෙයි.එමෙන්ම විෂාදය රෝගීන් ඇතැමුන් “මගේ කොන්ද කැක්කුමයි”, “අතපය කැක්කුමයි” “දණහිස කැක්කුමයි” යනුවෙන් නිතර පවසනවා. එහිදී එකිනෙකට සම්බන්ධ නැති අවයව රාශියකට වේදනාව පිළිබඳව කියවෙනවා. විෂාදය රෝගීන් නිතර ප්‍රකාශ කරන, කරුණු දෙකක් තිබෙනවා. ඒ තමන්ට නිතර “හිසේ කැක්කුමක්” ඇති බව සහ තමන්ට නිතර “දැවිල්ලක්” ඇති බව.

ඉහතින් දැක්වූ රෝග පිළිබඳව දැනුමක් ඇත්තේ ඒ පිළිබඳව වැඩිදුරටත් හදාරන ලද මනෝ වෛද්‍යවරුන්ට පමණයි. මනෝ වෛද්‍යවරුන් නොවන වෛද්‍යවරුන් වෙත එවැනි රෝගීන් ගිය විට සියලුම වෛද්‍ය පරීක්ෂණවලට රෝගියාව යොමු කරනවා. එම වෛද්‍ය පර්යේෂණවල වාර්තා අනුව කිසිදු රෝගයක් පෙනෙන්නේ නෑ. ඒ වුණාට ඇත්තටම ඔවුන්ට ලෙඩක් තිබෙනවා. එය මොළය පදනම් කොටගෙන ඇතිවන ලෙඩක්. එය කායික වෛද්‍ය පර්යේෂණ මඟින් සොයාගත හැකි නොවේ.

සමාජයේ බොහෝ දෙනකු බියට පත්වන දේට අමතරව සුළු දෙයටත් බියවීම මානසික රෝගී තත්ත්වයක්ද?


ඔව්. බිය ලෙස හඳුන්වනු ලබන තත්ත්වයන් සරල මානසික රෝගයක්. මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව බිය රෝගයක් වන්නේ කිසිදු හේතුවක් නැතිව ඇතිවන්නාවූ බියයි; අස්ථාන බියයි.කිසියම් සිදුවීමකට හෝ කිසියම් වස්තුවකට, සතෙකුට බියක් ඇතිවූ විට අපගේ ශරීරයේ ඇති අනිච්ඡානුග ස්නායු පද්ධතියේ තැතිගැන්මක් ඇතිවෙනවා. එම තැතිගැන්ම ශරීරයේ පද්ධතින් රැසකම වෙනස්කම් ඇතිකිරීමට සමත්. එහි ප්‍රතිඵලයක් ලෙස හෘදය ක්‍රියාකරන වේගය වැඩිවීම, මුඛයේ කෙළ සිඳීම, තරමක දහදිය දැමීමක් සිදුවෙනවා. බියට පත්වූ පුද්ගලයා කරන්නේ එම අවස්ථාවෙන් හෝ එම ස්ථානයෙන් ඉක්මනින් ඉවත් වීමයි. බියේ ස්වභාවය එයයි.

මනෝ වෛද්‍ය විද්‍යාවේදී බිය කොටස් 3කට බෙදා දක්වනවා. ඉන් පළමුවැන්න සරල බියයි.යම්කිසි වස්තුවකට හෝ යම්කිසි අවස්ථාවකට බියවීම මේ යටතට ගැනෙනවා. සමහර උදවිය හූනන්ට, කැරපොත්තන්ට, මකුළුවන්ට මෙන්ම විභාගවලට ද අනියත බියක් දක්වනවා. එලෙස බියට පත්වන කරුණු පිළිබඳව හොඳින් සිතා බැලීමේ දී මකුළුවෙකුට, කැරපොත්තකුට, හූනෙකුට බියක් දැක්විය යුතු නැති බව හොඳින් පෙනී යනවා. එහෙත් නයෙක් වැනි සතෙකුට බියක් දැක්වීම සාධාරණයි. ඒ නයා මාරාන්තික විෂ සහිත සර්පයෙක් නිසයි.එහෙත් කිසිදු හානියක් විෂක් නැති හූනන්ට, මකුළුවන්ට බියවීම අසාමාන්‍යයි. එම බිය බොහෝ විට කුඩා දරුවන්ට තිබෙනවා. වැඩිහිටියන් වූ විට මෙම බිය ඉවත්වී යාමයි සාමාන්‍ය ස්වභාවය. එසේ වුණත් සමහරුන්ට වැඩිහිටියන් වූ විට ද මේ අනියත බිය ඇතිවෙනවා. එයට හේතු වන්නේ කුඩා කාලයේ දී මෙම අවස්ථාවන්ට මෙන්ම සතුන්ට ද නිතර නිතර මුහුණදීම බවයි පැහැදිලි වන්නේ.

ඇතැම් පුද්ගලයන් කිසියම් පිරිසක් ඉදිරියට යාමට බියක් දක්වනවා. ඒ ඇයි?

මෙය හඳුන්වන්නේ සමාජ භීතිකාව ලෙසයි. මෙම භීතිකාව ඇති පුද්ගලයින් මිනිසුන් ඉදිරියට යාමට, කිසියම් පිරිසක් අමතා කතා කිරීමට බියක් දක්වනවා. මෙම අවස්ථාවට පත්වූ පුද්ගලයන් ගැහෙන්ඩ පටන්ගන්නවා; තොලකට වියළීම පටන් ගන්නවා. තැතිගැනුණු ස්වභාවයක් ඇස්වලින් පවා පෙන්නුම් කරනවා.ඇතැම් උදවියට බැංකුවකට ගොස් කිසියම් පිරිසක් ඉදිරියේ චෙක්පතක් අස්සන් කිරීමට සිදුවූවිට හෝ, ෆෝම් එකක් පිරවීමට සැරසුණු විට ඒ බිය මතුවෙනවා. එසේම තමා සේවය කරන ස්ථානයේ ඉහළ නිලධාරියකු හමුවට ගිය විටෙකත් ඇතැමෙකුට එම තත්ත්වය ඇතිවෙන්න පුළුවනි. එම තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයන් එම අවස්ථාවේදී කරන්නේ වහාම එම ස්ථානයෙන් ඉවත් වීමයි. එම අවස්ථාව මඟහැරිමයි. ඒ තත්ත්වය ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි ගමනට විශාල බාධාවක්.ඇතැම් ගුරුවරුන්ටත් ඒ තත්ත්වය තිබෙනවා. ඔවුන්ට පාසල් පන්ති කාමරයේ දී දරුවන්ට ඉගැන්වීමේ හැකියාව තිබුණත් පාසලේ උදෑසන රැස්වීමේ දී ළමයින් අමතා පුංචි කතාවක් පැවැත්වීමට හැකියාවක් ඇත්තේ නෑ. විවිධ පුද්ගලයින්ට විවිධ මට්ටමින් සමාජ භීතිකාව ඇති බව ඒ අනුව පෙනෙනවා. ඒ හා සමාන ලක්ෂණ පෙන්නුම් කරන තවත් බියක් තිබෙනවා. ඒ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් වෙළෙඳපොළක් වැනි සෙනඟ පිරුණු ස්ථානයකට යාමට දක්වන්නේ අනියත බියක්. මොවුන් බොහෝ විට කැමැති නිවාස තුළටම වී සිටීමටයි. නිවසින් බැහැරව යන විට ඔවුන්ට කවුරුන් හෝ අවශ්‍යයි.ඒ පුද්ගලයින් සිනමාශාලාවක මැද වාඩිවී චිත්‍රපටයක් නැරඹීමට, බසයක මැද ගමන් කිරීමට දක්වන්නේ අධික බියක්. මේ බිය වැඩිපුර ඇතිවන්නේ කාන්තාවන්ට.

ඇතැම් පුද්ගලයන් ගුවන්යානයක ගමන් කිරීමට, වැසුණු කාමරයක හිඳීමට බියක් දක්වන්නේ ඇයි?

එයත් ඔය කියන රෝගයේ එක් අවස්ථාවක්. මොවුන් වැසුණු සංවෘත ස්ථානයක සිටීමට දක්වන්නේ අනියත බියක්.

අනියත බිය මානසික රෝගයක් වගේම මානසික රෝග නිසාත් බිය ඇතිවනවාද?

ඔව්. භින්නෝන්මාදය (Schizophrenia) රෝගය නිසා ඇතැමුන් බියට පත්වෙන අවස්ථා තිබෙනවා. ඒ රෝගයෙන් පෙළෙන්නන් නිතරම ජීවත්වන්නේ තමන්ට කවුරුන් හෝ හානියක් කරදරයක් කරාවි යන සැකයෙන්.කවුරුන් හෝ තමා මරාදමාවි, තමාගේ බත් පිඟානට වස දමාවි, තමාට කවුරුන් හෝ හූනියමක් කරාවි යන සැකයෙන් මොවුන් සැමවිටම පෙළෙනවා. මොවුන් තම නිවසේ පිසින කෑම ආහාරය ගැනීමට පවා දක්වන්නේ බියක්. ඇතැම් විට භින්නෝන්මාදය රෝගීන් කිසියම් පුද්ගලයකු තමන්ට හානියක් කරාවි යන සැකයෙන් එම පුද්ගලයාට හානියක් කිරීමට වුවත් ඉඩ තිබෙනවා.

අනියත බියක් යමෙකු තුළ ඇතිවන්නේ ඇයි?

ඒ සඳහා නිශ්චිත හේතුවක් දැක්වීම අපහසුයි. ඉහතින් සඳහන් කළ ආකාරයට අහේතුක බියක් ඇතිවීමට හේතු පිළිබඳව මනෝ විද්‍යාඥයින්, මනෝ වෛද්‍යවරුන් පළකරන එක් අදහසක් වන්නේ, කිසියම් සතෙකුට හෝ කිසියම් අවස්ථාවකට මුහුණදෙන පළමු අවස්ථාවේදීම එම සතාට හෝ අවස්ථාවට මුහුණ නොදී බියට පත්වී ඉවතට ගියහොත්, ඉන්පසුව එම දෙයට බියක් දැක්වීමට මොළය හැඩගැසෙන බවයි. එමෙන්ම ජානවල බලපෑම නිසා ද බිය ඇතිවන අවස්ථා තිබෙනවා. ඇතැම් පවුල්වල උදවිය ඇතැම් දේවල්වලට බියක් දක්වන බව පෙනෙනවා. එය පරම්පරාවට යාමට ඉඩ තිබෙනවා.

බියෙන් මිදෙන්නේ කොහොමද? ඒ සඳහා ප්‍රතිකාර තිබෙනවාද?


ඔව් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවිය යුතුයි. බිය සඳහා කෙරෙන ඇතැම් ප්‍රතිකාර ඉතා සරලයි. පළමුව තමා බියට පත්වන කාරණයේ බියක් නැති බව තේරුම් ගැනීම ඉතා වැදගත්. එහෙත් එලෙස තේරුම් ගැනීමෙන් පමණක් මෙම රෝගය සඳහා ප්‍රතිකාර කළ හැකි වන්නේ නෑ.මෙහිදී කළ යුතු වන්නේ තමා බියට පත්වන සතාට, වස්තුවට හෝ කාරණයට අවස්ථාවට මුහුණ දී එය තමන්ට තවදුරටත් තර්ජනයක් නොවන බව මොළයට සහ ස්නායු පද්ධතියට දැන්වීමයි. ඒ සඳහා මනෝ වෛද්‍යවරයකු හමුවී ඔහුගේ උපදෙස් මත ක්‍රියා කිරීම වැදගත්. වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි බියට පත්වන වස්තුවට හෝ අවස්ථාවට මුහුණදීම මඟින් අනියත බියෙන් මිදීමට හැකියාව ලැබෙනවා. කිසියම් අයකු මකුළුවකුට බියක් දක්වයි නම්, ඔහුගේ අතට මකුළුවකු දී එම මකුළුවාගෙන් තමාට තර්ජනයක් නොවන බව ස්නායු පද්ධතියට දැනෙන තෙක්, මොළය අවබෝධ කරගන්නා තෙක් සිටිය යුතුයි. එසේ නැතිව මකුළුවා ඉවතට වීසිකර පලා දුවයි නම්, මකුළුවාට ඇති බිය තව තවත් වැඩිවනු ඇත. බිය තුරන් කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබාදෙන අවස්ථාව ඉතා අඩුයි. සමාජ භීතිකාවෙන් පෙළෙන්නන්ට නම් කෙටිකාලීනව ඖෂධීය ප්‍රතිකාර ලබාදෙන අවස්ථා තිබෙනවා.

ඇතැම් දේවලට බියක් දැක්වීමේ වාසියකුත් තිබෙනවා නේද?


ඔව්. විභාගයක් වැනි දෙයකට අප යම් මට්ටමකට බියක් දැක්විය යුතුයි. විභාගයක් ඉතා සරල ලෙස සැලකුවහොත් එම විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගත හැකිවන්නේ නෑ.ඔබට කිසියම් පිරිසක් අමතා දේශනයක් පැවැත්වීමට සිදුවී ඇතැයි සිතන්න. එහිදී කිසියම් බියක් ඔබට දැනෙයි නම්, එම දේශනයට ඔබ හොඳින් සූදානම් වේවි. එවිට හොඳ දේශනයක් පැවැත්විමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා යම් යම් අවස්ථාවලදී පොඩි බයක් ඇතිකර ගැනීම ජීවිතයට අවශ්‍ය අවස්ථා ද තිබෙනවා.

0 comments:

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.