-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

භාවනාව සහ මානසික සුවය

♠ Posted by ආලෝකය at 8:33 PM
ලෙඩ රෝග ගණනාවකට සුවය සලසන භාවනාව

භවනාවන් යොදා ගනිමින් රෝග සුව කිරීමට ඇති අවස්ථා පිළිබඳ මේ වන විටත් බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

භාවනාව මගින් රෝග ගණනාවක් සුවපත් කළ හැකි බව මේ වන විටත් බටහිර විද්‍යාඥයින් විසින් සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. මිනිසාගේ මනස අවිවේකිය. අවිවේකි බව නිසා මනස රෝගී වේ. මනස රෝගී වූ විට සිරුරද රෝගී වේ. මිනිස් මනසේ නිරන්තරයෙන් ගලා යන සිතුවිලි ධාරා යහපත් කිරීම වැදගත් වන්නේ ඒ නිසාය. භාවනාව යනු මනස පුහුණු කිරීමයි. මනස පාලනය කරමින්, සැහැල්ලු කරමින්, ක්‍ෂය වූ මනස ප්‍රකෘතියට පත් කිරීම භාවනාවෙන් සිදු වේ.

එසේ නම් භාවනාව මගින් රෝග සුව වන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් පැහැදිලි කෙරේ.

භාවනාව මගින් ලෙඩ රෝග සුවවන ආකාරය

ශාරීරික රෝග සුවවන ආකාරය


භාවනාව මගින් සිදුවනුයේ සිතෙහි විසිරීම අඩුවීම හෝ නතරවීමයි. සිතෙහි මතුවන නොයෙකුත් සිතුවිලි ධාරා නතර වන නිසා, මනසෙහි නිහඬතාවක් මතු වේ. මේ නිහඬතාව නිසා තමාට සැනසීමක් සහ පී‍්‍රතියක් දැනේ. මේ පී‍්‍රතිය නිසා මොළයේ පිටියුටරි ග්‍රන්ථයෙන් “ එන්ඩෝපින් “(Endorphin) නමැති හෝමෝනයක් ස්‍රාවය වන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත.ඔවුන් මේ හෝමෝනය සතුට ගෙන දෙන හෝමෝන (Pleasure Hormones) ලෙස නම් කර ඇත. මේ හෝමෝන මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවන නිසා විශාල ලෙඩ ප්‍රමාණයක් සුව කර ගැනීමට හැකි බව විද්‍යාඥයින් ඔප්පු කර ඇත.අකමැත්ත හෙවත් කේන්තිය (ව්‍යාපාදය) නිසා වැඩි වැඩියෙන් මනස විසිරීම තුළින් ශරීරයට අහිතකර ආකාරයට ස්‍රාවය වන හෝමෝන (Stress Hormones) සහ තවත් ජෛව රසායනිකයන් නිසා ශරීරයේ ප්‍රතිශක්තිය හින වීම, රුධිර සංසරණය වේගය වැඩි වීම මගින් නොයෙකුත් ලෙඩ රෝග හට ගනී. භාවනාවෙන් මේ අහිතකර ජෛව රසායනික ස්‍රාවය අඩුකර ගත හැකි වේ. රෝග සුව වීමට හෝ සමනයට මෙයද ප්‍රධාන සාධනයකි.භාවනාව මගින් මනස පුහුණු වන නිසා ආශාවන් පාලනය තුළින් ආහාර ගැනීම පිළිබඳ මනා පාලනයක් කිරීමට ලැබෙන හැකියාව, අනවශ්‍ය ආහාර මගින් වැඩිවන ලෙඩ රෝග ද සමනය කළ හැකයි. උදාහරණ ලෙස දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් ආදිය පෙන්වාදිය හැකයි.

මානසික රෝග සුවවන ආකාරය


මානසික අවපීඩනය හෙවත් විශාදයට (Depression) හේතුව වනුයේ ලේවල ඇති ස්නායු පද්ධතියට සම්බන්ධ ජෛව රසායනිකයන් (Nurotransmitters) අඩුවීම බව වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම වේ. නොයෙකුත් ගැටලු නිසා සිතුවිලි වැඩිවන නිසා මේ ජෛව රසායනික ක්‍ෂය වේ. භාවනාව මගින් සිතුවිලි හෙවත් ප්‍රපංච නතර වන නිසා ක්‍ෂය වූ මෙම ජෛව රසායනිකයන් සාන්ද්‍රණය නැවතත් රුධිරය වැඩිවීමට පටන් ගනී. මෙම ජෛව රසායනිකයන් සාන්ද්‍රණය වැඩිවීම නිසා මානසික අවපීඩනය වැනි රෝග සුව වන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. මොළයේ නියුරෝන සෛල ක්‍ෂයවීම නිසා මතකය අඩුවීමේ මානසික රෝගයක් (Dementia) ඇත. භාවනාව මගින් මොළයේ නියුරෝන සෛල වර්ධනය වන බවට ද සොයා ගෙන ඇත. භාවනාව නිසා ඉහත සඳහන් රෝගය ද හට ගැනීම වළක්වා ගත හැකිය. මානසික අවපීඩනය නිසා ඇති වන හිස රුදාව, ඇඟපත වේදනාව වැනි ශරීරික රෝග පවා සුව වේ.

කෝපය අඩුකර ගැනීම

තමාට දැඩි කෝපයක් ඇති වන්නේ නම් එම කෝපය ආ විගස එය එවේලේම සමනය කිරීම සඳහා “ කේන්ති ගන්න එපා. කේන්තිය හොඳ නැහැ “ යනුවෙන් තමන් විසින් එක දිගටම මන්තරයක් ලෙස සිතින් තමාටම පැවසීමෙන් කෝපය අඩුකර ගත හැකිය. කේන්තික් ආ විගසම මෙය නිතර නිතර මැතිරීමෙන් කේන්තිය මතුවීම අඩුකර ගතහැකිය. තමන්ට අවශ්‍ය නම් ඕනෑම හැඟීමක් හෝ ආශාවක් හෝ සිතිවිල්ලක් අඩුකර ගැනීමට හෝ පාලනය කිරීමට මේ ක්‍රමය උපයෝගී කර ගන්න පුළුවන්.

වේදනාව අඩුකර ගැනීමට


මොනයම් හෝ වේදනාවක් මතු වූ විට “ මේ හොඳයි මේ හොඳයි “ මන්තරය එක දිගටම මැතිරීමෙන් වේදනාව සමනය කිරීම හෝ සුවකර ගැනීම කළ හැක.” මේ හොඳයි “ කියා මන්තරයක් ලෙස සිතින් සෑහෙන වේලාවක් නොකඩවා මැතිරීමෙන් සිදුවනුයේ මනස තම වේදනාව හොඳ දෙයක් ලෙස පිළිගැනීමයි. එවිට මනස වේදනාව සමඟ සෑහීමකට පත්වී, වේදනාව සමඟ මිත්‍රවීම සිදුවේ. මේ මගින් වේදනාව සමනය කළ හැකිය. ඕනෑම ප්‍රබල වේදනාවක් ඇති විට මේ හොඳයි මන්තරය සමග සෑහෙන වේලාවක් ඉවසීමෙන් සිටින්නේ නම්, මනසට වේදනාව කෙරෙහි අවධානය සෑහෙන වේලාවක් තබා ගත නොහැකි නිසා, මනස එම වේදනාව සම්පූර්ණයෙන්ම අත හරී. එවිට වේදනාවද සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේ. හොඳ ඉවසීමක් තිබේ නම් වේදනා නාශක නොමැතිව වුත් ඉතා තද වේදනාවල් පවා මේ ආකාරයට සුවකර ගත හැකිය.

භාවනාවෙන් වර්තමානයේ සිදුවන දේ පිළිබඳ මනා අවබෝධය හෙවත් සතිය දියුණු වන නිසා ඇතිවන ප්‍රයෝජන

සමථ භාවනාවෙන් සිතෙහි මතුවන සිතුවිලි ( ප්‍රපංච ) නතර වී ඇතුළතින්් නිහඬතාවක් දියුණු වන නිසා, මේ මොහොතේ සිදුවන දේ් පිළිබඳ සියයට සියයක අවධානය යොමු කිරීමේ හැකියාව හෙවත් සතිය දියුණු වේ. එමගින් සිදුවනුයේ අවධානය පිටට නොයා, යම් දෙයක් කෙරෙහි නොකඩවා සෑහෙන වේලාවක් අවධානය යොමු කර ගෙන සිටීමේ හැකියාව දියුණු වීමයි. මේ මගින් එදිනෙදා ජීවිතයේ කටයුතු දියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජන රැසක් ලැබේ. එනම්.

අධ්‍යාපනය දියුණුවීම


අධ්‍යාපනය ලබන ඕනෑම කෙනෙක් දේශනයකට සවන් දීමේ දී අවධානය පිට නොයා සියයට සියයක්ම එම දේශනය තමන්ගේ මතක ගබඩාවේ රඳවා ගැනීමට හැකි වේ. භාවනා පුහුණුවෙන් බුද්ධිය (I.Q වැඩිවන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. භාවනාවෙන් මොළයේ නියුට්‍රෝන සෛල පවා වර්ධනය වී, මොළයේ විශාලත්වය පවා වැඩිවන බව ඔවුන් සොයා ගෙන ඇත.

ක්‍රීඩාව දියුණුවීම

සතිය දියුණුවීම නිසා අවධානය සියයට සියයක්ම කරන දේ කෙරෙහි යොමු වේ. ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා දියුණු කිරීමට සෑහෙන පිටිවහලක් වේ. භාවනාවෙන් ස්‍රාවය වන නොයෙකුත් සුබවාදී හෝමෝන (සංවෘත්තික හෝමෝන) (Anabolic Hormones) මගින් ශරීර ශක්තිය වැඩිවන නිසා, ක්‍රීඩාවේදී හොඳ ජවයක් ලැබීමට භාවනාව ඉවහල් වේ.

පංච ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණුවල ගුණාත්මක භාවය වැඩිවීම

සතිය දියුණුවීමෙන් තමන් ආහාර ගන්නා විටදී තම අවධානය පිට නොයා, සියයට සියයක්ම තමා ගන්නා ආහාරය කෙරෙහි පමණක් යොමු කිරීමේ හැකියාව ඇත. ඒ නිසා තම ආහාරයේ රසයේ අගය සියයක් තිබේනම් එම සියයම තමන්ට අත්විදිය හැකි නිසා, තමන් ගන්නා ආහාරය වෙනදාට වඩා රසය වැඩි වී ඇති බව දැනෙන්නට පුළුවනි.

ආහාරය පිළිබඳ තමාගේ හොඳ අවධානයක් තිබෙන නිසා, එම ආහාරයේ ප්‍රමාණය පාලනය කිරීමට සහ රස තණ්හාව පාලනය කිරීමට පවා හැකියාව ලැබේ. මේ ආකාරයට ඉන්ද්‍රියන් පහෙන්ම ලැබෙන සංවේදනවල රසය වැඩි වේ.

ඒවා පාලනය කිරීමේ ශක්තිය ද වැඩි වේ. ගෙදර දොරේදී වැඩ කටයුතු හෝ රැකියාවේදී කරන වැඩ කටයුතු වෙත අවධානය සියයට සියයක් යොමු කිරීමේ හැකියාව වැඩිවන නිසා තමන් කරන වැඩ කටයුත්තෙහි කාර්යක්‍ෂමතාව පවා වැඩි වේ.

0 comments:

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.