-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

මානසික ගැටලු හා යොවුන් විය

♠ Posted by ආලෝකය at 8:09 PM
ඔබ දන්නවාද වැඩිපුරම මානසික රෝග වැලදෙන්නේ තරැණ වයසේදි බව
 
ශරීරය රෝගී වන්නා සේම මනසත් රෝගී වෙයි. මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග ලෙසය. “මානසික රෝග“ යන වචනය ඇසු පමණින්ම අපගේ සිතට දැනෙන්නේ බියකි. ලජ්ජාවකි. මානසික රෝගවලට ගොදුරු වූවන් දෙස බලන්නේ ද අවඥාසහගත ලෙසය. මෙය ඉතා වැරැදි සහගත සිතිවිල්ලකි.ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද ඖෂධීය ප්‍රතිකාර මඟින් හෝ වෙනත් චිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක් ලබාදිය හැකි බවත්, නැතිනම් රෝගය පාලනය කළ හැකි බවත් අප තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගැනීමෙන් මානසික රෝගීන් ලෙස නොසලකා හැර සිටින පුද්ගලයින්ගෙන් විශාල සේවයක් ලබාගත හැකිය.මානසික ආබාධවලට ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට අටත් දහයත් අතර ප්‍රමාණයකි. බරපතළ ගණයේ මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සියයට 2 කි. මෙය ඉතා ඉහළ අගයකි. එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුමය.

මානසික ආබාධ යනු මොළය ආශි‍්‍රතව ඇතිවන රෝගී තත්ත්වයකි. එවැනි රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ ජානමය හේතුය. හදිසි අනතුරු නිසා මොළයට වන හානි හේතුවෙන් මානසික ආබාධ ඇතිවීමට ඉඩ තිබේ. බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිටය. එතැන් සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.වර්තමානයේදී ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත කාලයේ සාමාන්‍ය අගය වයස අවුරුදු 73 ක් බව හෙළිවී ඇත. ඒ අනුව බලන විට වයස අවුරුදු 16 සිට වයස අවුරුදු 73 පමණ වන තෙක් රෝගිවූ පුද්ගලයා ගෙවන කාලය නිෂ්ඵලය. ඒ කාලය එම පුද්ගලයාට ප්‍රයෝජනවත් නැත. සමාජයට ද එම පුද්ගලයාගෙන් ප්‍රයෝජනයක් නැත. එසේම මානසික රෝගියකුට ගොදුරු වූ පුද්ගලයකු වයස අවුරුදු 25 දී සියදිවි නසාගත්තා යැයි සිතන්න. එවිට එම පුද්ගලයාට වයස අවුරුදු 25 සිට වයස 73 දක්වා වූ කාලය අහිමි වී යයි.කිසියම් රෝගයක් නිසා ආබාධ තත්ත්වයට පත්වී ගෙවීමට සිදුවන කාලය සහ කිසියම් රෝගයක් නිසා අහිමි වන ජීවිත කාලය එකතුවක් ලෙස ගත් විට එම අගය ඉහළම අගයක් ගන්නේ මානසික රෝග සඳහාය. හෘදයාබාධ වැනි රෝග සඳහා එතරම් අගයක් පෙන්නුම් නොකරයි.සියලුම රෝග සමඟ සසඳා බැලීමේදී එම අගය සියයට දොළහයි දශම හයකි. මෙවැනි ඉහළ අගයක් පෙන්වීමට හේතු කවරේදැයි දැන් අපි සොයා බලමු.

මෙය ඉහළ අගයක් වීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී වීමය. එසේම බරපතළ මානසික රෝග පිළිබඳව සැලකීමේදී සියයට අසූවක්ම දීර්ඝ කාලීන රෝග වීමය. එම රෝගවලට දීර්ඝ කාලීනව ඖෂධ අවශ්‍ය වේ.නව යොවුන් වියේදී මානසික රෝගයකට ගොදුරු වූ විට අධ්‍යාපන කටයුතු අඩාලවේ. රැකියාවේ කටයුතු අඩාලවේ. එනිසාම විවාහ ජීවිතයක් ගත කිරීමට අපහසුය. එම පුද්ගලයාට සිදුවන්නේ පවුලට බරක් වී ජීවත්වීමටය.

අප සමාජයේ බහුලව ඇති ප්‍රබල මානසික රෝග සංඛ්‍යාව 3 කි. ඒ භින්නෝන්මාදය, භාවික උන්මාදය, සහ විෂාදයයි. ඊට අමතරව බිය, කාංසාව, ග්‍රස්ථිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි උග්‍ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිති.

භින්නෝන්මාදය රෝගය පිරිමින් කෙරෙන් මතුවන්නේ වයස අවුරුදු 16 - 25 අතර කාලයේදී වන අතර කාන්තාවන්ගේ නම් වයස අවුරුදු 25 - 40 අතර කාලයේදීය. මෙය භයානක වර්ගයේ මානසික ආබාධ තත්ත්වයක් වන නිසා, ජිවිත කාලයෙන් වැඩිම කලක් මොවුනට ගෙවීමට සිදුවන්නේ මානසික ආබාධිතවය. ඒ නිසි ප්‍රතිකාර නොලැබුණහොත්ය.හෘද රෝග දියවැඩියාව වැනි රෝග බොහෝ විට හටගන්නේ වයස අවුරුදු 40 පමණ ඉක්මවූ විටය. ඒ වන විට එම රෝගවලට ගොදුරු වූවෝ අධ්‍යාපනික කටයුතු හමාර කර විවාහ වී රැකියාවක නිරත වී සමාජයේ ස්ථාවර තත්ත්වයකට පත්වු අය වෙති. හෘද රෝග දියවැඩියාව ආදියට ගොදුරු වූවන් සමාජයෙන් කොන් වන්නේ නැත. අකාර්යක්ෂම වන්නේ ද නැත. රෝගයට ඖෂධ ගනිමින් ඔවුහු සාමාන්‍ය ජීවිතයක් ගත කරති. එහෙත් භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් 80% කට පමණට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොලැබේ.භාවික උන්මාදය සමාජයේ පවතින උග්‍ර මානසික රෝගයකි. මෙය මතු වන්නේ ද තුරුණු අවධියේදීය. මෙය භින්නෝන්මාදය තරම් දරුණු ජීවිත කාලය පුරාම පවතින රෝගයක් නොවූවද මෙය නැවත නැවත මතු වෙමින් පවතින රෝගයකි. මෙහිදී ද අධ්‍යාපනය, විවාහ ජීවිතය, කඩාකප්පල් වී යා හැකි ය. මොවුනට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කළ යුතුය.අප සමාජය තුළ බහුලව පවතින අනෙක් උග්‍ර මානසික රෝගය වන්නේ විෂාදයයි. මානසික රෝගවලින් වන හානිය පිළිබඳව සලකා බැලීමේදී 4 වැනි ස්ථානය හිමි වන්නේ විෂාදයටය. සමස්තයක් ලෙස සැලකූ විට අප ජනතාවගෙන් සියයට 10 කට ආසන්න සංඛ්‍යාවක් විෂාදයෙන් පීඩා විඳිති.

විෂාදයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එසේම මෙහි භයානක තත්ත්වය වන්නේ විෂාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 15 - 20 අතර සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගැනීමය.සියදිවි නසා ගන්නා පුද්ගලයින්ගෙන් සියයට 90 ක්ම කිසියම් මානසික රෝගයකින් පෙළෙන බව හෙළි වී ඇත. එසේම එසේ සියදිවි නසා ගන්නා පිරිසෙන් සියයට 50 කට වැඩි පිරිසක් එසේ කරගන්නේ විෂාදය නිසා බවත් හෙළි වී ඇත.විෂාදය රෝගියකුට උපරීම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ නොහැකිය. වැඩ කළ ද ඔවුන්ගේ ඵලදායිතාවය අඩුය. කිසි යම් මවකට විෂාදය රෝගය ඇත්නම්, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට ද සෘජුවම එය බලපාන අතර නිවසේ ඇති අපිළිවෙළ වැනි හේතු නිසා අඹුසැමි අඩදබර ඇතිවීමට ද හේතුවක් විය හැකිය.විෂාදය පිළිබඳව හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගෙන් සමහර දෙනෙක් පශ්චාත් ප්‍රසව කාල පරිච්ඡේදයේදී විෂාදයට ගොදුරු වන බවය. එසේම එය අලුත උපන් දරුවන්ගේ පමණක් නොව වැඩිමහල් දරුවන්ගේ සහ සැමියාගේ ජීවිතයට ද සෘජුවම බලපෑම් එල්ල කිරීමට හැකි රෝගයකි.මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ද මානසික ආබාධයක් ලෙස සලකන අතර එය භයානක නොවන මානසික ආබාධ යටතට ගැනේ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජීවත්වන්නන්ගෙන් 26% ක් පමණ හානිකර ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බව හෙළි වී ඇත. එසේම බිය, ග්‍රස්ථිය, කාංසාව වැනි සුළු මානසික ආබාධයන් සහිත පුද්ගලයෝ අප සමාජයේ කොතෙකුත් සිටිති.

ඉහත කී උග්‍ර තත්ත්වයේ මානසික රෝගවලට ඉක්මන් ප්‍රතිකාර ලබා දීමට සමත් වුවහොත් එම පුද්ගලයන්ගේ මනස ආබාධ තත්ත්වයට පත්වීම අඩුවේ. රෝගය මතු වීමෙන් පසුව ප්‍රතිකාර නොකර සිටින කාලය දිගුවන්නට, දිගුවන්නට රෝගියාගේ ආබාධිත බව වැඩි වේ. පසුව ප්‍රතිකාර කිරීමෙන් ලැබෙන පලය අඩු වේ.අප රටේ මානසික ආබාධවලට ගොදුරු වූවන්ගේ ප්‍රතිකාර කිරීම් පමාවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අන්ධ විශ්වාසයන්ට මිනිසුන් අවනත වීමය. මානසික රෝගවලට හේතු වන්නේ අද්භූත බලවේගයක බලපෑමක්, ග්‍රහ අපලයක්, හදිහූනියමක් වැනි දෙයක් යැයි ඇතැම්හු විශ්වාස කරති.එම විශ්වාසයන් ඔස්සේ ගොස් මිල මුදල් වැය කරමින් කාලය කා දමමින් බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර පමා කරති. නූල් බැඳීම, හුනියම් කැපීම, දෙහි කැපීම ආදිය සඳහා ඇතැම් උදවිය අවුරුදු ගණන් කාලය කා දමති. එවැනි නිෂ්ඵල දේ සඳහා කාලය ගත කළ විට රෝගියාගේ මොළයේ සෛල විනාශ වී මොළය ආබාධිත තත්ත්වයට පත්වේ.

මානසික රෝග පිළිබඳව අප සමාජය තුළ පවතින අපවාද ද රෝගියා සඟවාගෙන සිටීමට හේතු වී ඇත. තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි පැවසීමට පවා බොහෝ දෙනා කැමති නැත. ඒ නිසා වෛද්‍යවරයකු වෙත නොගොස් රෝගියාව සඟවාගෙන සිටිති. එමෙන්ම තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි විශ්වාස කිරිමට ඇති අකමැත්ත ද වෛද්‍ය ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු නොවීමට හේතු වී ඇත. එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ හොර රහසේය.මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවීම පවා නින්දාවට හේතුවක් ලෙස ඇතැම්හු සලකති. එම සෑම අතපසු වීමකම, සෑම නොදැනුවත්කමකම, සෑම මෝඩ ක්‍රියාවකම ප්‍රතිඵලය වන්නේ මානසික රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්‍ර වීමය.ඇතැම් විට මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගත්ත ද ටික දිනකින් එම ප්‍රතිකාර නවතා දැමීමට ඇතැම්හු පුරුදු වී සිටිති. වෛද්‍යවරු කෙතරම් උපදෙස් දුන්න ද දිගින් දිගටම ප්‍රතිකාර අවශ්‍ය නැතැයි ඇතැම්හු සිතති. මෙහිදී රෝගියා තම රෝගය පිළිබඳව නොදැනුවත්කම නිසා ප්‍රතිකාර නොගන්නා අතර රෝගියාගේ පවුලේ උදවිය වෛද්‍ය උපදෙස් නොපිළිපැදීම නිසා රෝගියාට ප්‍රතිකාර ලබා නොදේ. එහි ප්‍රතිඵලය වන්නේ රෝගය එන්න එන්නම උත්සන්න වීමය.

එබැවින් තම පවුලේ අයකු කිසියම් මානසික රෝගයකට ගොදුරු වී ඇත්නම්, මතක තබාගත යුතු වැදගත් කරුණු 3 ක් ඇත
වහා ප්‍රතිකාර කිරීම, ඵලදායී ලෙස ප්‍රතිඵල ලැබෙන තෙක් ප්‍රතිකාර කිරීම, නැවත නැවත රෝගය මතුවීම වැළැක්වීම යනුවෙනි. 

එය මනෝ වෛද්‍ය ප්‍රතිකාරවල ත්‍රිමූර්තිය ලෙස හැඳින්විය හැකිය. ප්‍රතිකාර කිරීමෙන් දීර්ඝ කාලීනව මානසික රෝගවලින් සිදුවන ආබාධ වළක්වා ගත හැකිය.මානසික රෝග සහ ඒවා මැඩපවත්වා ගැනීම පිළිබඳව අනෙක් රෝගවලට සාපේක්ෂව සමාජය තුළ දැනුවත් භාවය අඩුය. එසේ වී ඇත්තේ දැනුවත් පුද්ගලයන් විසින් නොදැනුවත් සමාජය දැනුවත් නොකිරීමය.මානසික රෝගවලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීමේ අනෙක් ගැටලුව වන්නේ, අප රට තුළ ඇති මනෝ වෛද්‍යවරුන්ගේ ඇති හිඟයයි. මනෝ රෝග පිළිබඳව සමාජයට නිවැරැදි දැනුමක් නොලැබීමට හේතු වී ඇති තවත් කරුණක් වී ඇත්තේ, මනෝ රෝග පිළිබඳව මාධ්‍ය ඔස්සේ කරුණු ගෙන හැර දක්වන අය අදාළ විෂය පිළිබඳව නිවැරැදි දැනුමක් ඇති අය නොවීමය. එහි ප්‍රතිඵලය වන්නේ මනෝ රෝග පිළිබඳව මිථ්‍යා මත සමාජය තුළ වැඩිවීමය.

බීමත්කම, නොසැලකිලිමත්ව රිය පැදවීම, කෝලාහල වැනි හේතු නිසා සිදුවන හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් සඳහා මෙන්ම, තම කට පාලනය කර නොගැනීමේ හේතුවෙන් හෘද රෝගවලට ලක්වන්නන් සඳහා ඉහළ පහසුකම් රෝහල්වල තිබුණ ද, තමන්ගේ කිසිදු වැරැද්දක් නැතිව මානසික රෝගවලට ගොදුරු වන්නන් සඳහා රෝහල්වල ඇත්තේ ද අල්ප පහසුකම් වීම කනගාටුවට කරුණකි.

අංගොඩ මානසික රෝහලේ
මානසික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
හරිස්චන්ද්‍ර ගාම්භීර මහතාගේ ලිපියක් ඇසුරිනි

2 comments:

it is tell to shy i also suffer some dispression
i dont konow how it privent please help

මමද යම් විෂදයකින් පෙළෙමින් සිටි එය ලිංගිකත්වය පිළිබද ඇති නොදැනුවත් කම නිසා යැයි සිතේ ලිංගිකව එක්වෙමට කැමැත්තක් ඇත

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.