-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

නිතරම බොරැ කියන්න හිතෙනවද ? මෙම ලිපිය කියවන්න

♠ Posted by ආලෝකය at 8:35 PM
කට ඇරියොත් බොරු කීම මානසික රෝග ලක්ෂණයක්ද?

විසි හතර හැවිරිදි තරුණයකු මනෝ වෛද්‍ය වාට්ටුවට එවා තිබුණේ රෝහල් කායික රෝග වාට්ටුවකිනි. කායික රෝග වාට්ටුවට ඇතුළත් කිරීමට හේතුව ඔහු කියූ ආකාරයට නම් නොදන්නා පිරිසක් පහර දීමය. මේ තරුණයාගේ නාසයෙන් වරින්වර රුධිරය ස්වල්පය බැගින් පිට වූ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින්වත් ඔහුට කායික රෝගයක් ඇති බව අනාවරණය වූයේ නැත. එසේම ඔහු රෝහල්ගත වීමට අදාළව බරපතළ පහර වැදීමක්ද සිදුව නැති නිසා ඔහුගේ මේ සියලු තත්ත්වයක් සලකා බලා මානසික රෝග වාට්ටුවට ඔහු මාරු කර තිබිණි.

මේ රෝගියාගේ පියාගෙන් විස්තර විමසද්දී ඔහු කීවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. එම පියා පැවසූ අන්දමට වයස අවුරුදු දහසයේ පමණ සිට මේ තරුණයා විශාල වශයෙන් බොරු කියන්නට පටන් ගෙන ඇත. පාස‍ලේ එක එක දේවල්වලට ගුරුවරුන් නියම කළ බව කියමින් මුලින් ඔහු නිතර නිතර ගෙදරින් මුදල් ඉල්ලාගෙන ගොස් තිබේ. පසුව හෙළි වූ පරිදි ඔහු එලෙස ඉල්ලා ගෙන යන මුදල්වලින් කර ඇත්තේ විවිධාකාර වූ රසවත් ආහාර වර්ග ගැනීමය.පුතු බොරු කියා මුදල් ඉල්ලා ගන්නා බව පසුව මේ දෙමාපියන්ට හෙළිවීම නිසා ඔවුන් පුතුට මුදල් දීම අතිශයින්ම සීමා කළහ. ඉන්පසු පුතු කළේ ගෙදරින් මුදල් සොරකම් කිරීමය. මේ ආකාරයට මුදල් සොරකම් කළ ඔහු පසුව ඒ මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත්තේය. ඉන්පසු ඔහු කරන්නට පටන් ගත්තේ වෙනත් සෙල්ලමකි. ජංගම දුරකථනයෙන් ඔහු තම නෑදෑයින්ට ඇමතුම් දී ‘අසවලා ඔයාට මෙහෙම කිව්වා’ ආදී වශයෙන් වෙනත් නෑදෑයකුගේ නමක් පවසා බොරු කේලම් ගොතා කීමය. එය බොරුවක් බව නොදැන එම නෑදෑයින් දබර කර ගන්නා විට මේ තරුණයා ඉන් මහත් ආශ්වාදයක් ලැබිය.ඔහු රැකියාවල්ද කිහිපයක් කර තිබිණි. ඒ හැම තැනකදීම ආයතන ප්‍රධානියාගේ හෝ වෙනත් අයගේ වැරදි කියමින් ඔහු රැකියාවෙන් නතර විය. කිසිදු රැකියාවක මාස තුනක කාලයක්වත් ඔහු රැඳී සිට නැත. තම පුතු ආයතන ප්‍රධානියා ඇතුළු අනෙක් අය ගැන බොරු චෝදනා කරන බව දෙමාපියන්ට හෙළිවී ඇත්තේ පසුවය.

තරුණයා පැවසූ අන්දමට ඔහු කිහිප වරක් සියදිවි නසා ගන්නට උත්සාහ කර තිබේ. නමුත් පියා කීවේ එවැනි කිසිවක් සිදු නොවූ බවය. මේ අතර ඔහු පිටරට යාමට තීරණය කර ඒ සඳහා මුදල් සොයා ගැනීමට ගිය ගමනකදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහරදී බිම ඇද දැමූ බව මේ
තරුණයා වෛද්‍යවරුන් හමුවේ කියා සිටියේය. නමුත් පියා කීවේ ඔහු දිගු කල්පනාවකට වැටී පාරේ ගමන් කරන විට මුලක හැපීි වැටී ඇති බවය. පියාගේ ප්‍රකාශය සත්‍ය බවට පිළිගත හැකි සාක්ෂි තරුණයා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුනට පැහැදිලිවම දැකගත හැකි වී තිබිණි. වැටීම නිසා එක අතක් තුවාල වීම මත ඔහු රෝහලට ඇතුළු කර තිබෙන්නේත් පියාය.මෙම තරුණයා අනෙක් අයට බොරුවක් ලෙස කෙසේවත් නොහැඟෙන පරිදි බොරු ගොතා කී අතර මුලදී මවුපියන්වත් එය විශ්වාස කළේ නැත.බොරු කියන අය එසේ කියන්නට පෙළඹෙන විවිධ හේතු තිබේ. එකක් නම් ලාභ ප්‍රයෝජන හා වාසි තකාය. තමන්ට කුමක් හෝ කරදරයක් සිදුවන්නට යන බව දැනෙන විටදීද සමහරු ඉන් ගැලවෙන්නට සිතා බොරු කියති. නමුත් එවැනි සාධාරණ පදනමක් නැතිව ‘කට ඇරියොත් බොරු ඇද බාන බේගල් මුත්තලා’ ද සිටිති.

මෙලෙස කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයකි. මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වයි. මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ 1891 වසරේදී ඇන්ටන් ඩෙල්බෘක් (Anton delbruck) නම් මනෝ වෛද්‍යවරයෙකි.මෙහිදී සිදු වන්නේ කිසිදු දේකට සම්බන්ධ නැති මනඃකල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පැවසීමය. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින් දැන සිටිය හැකි සේම එසේ නොදැන හිඳින්නටත් පුළුවන. එසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසාය.

ව්‍යාධික මුසාවාදය බොහෝ විටම හට ගන්නේ වයස අවුරුදු 16-18 වැනි තරුණ කාලයේදීය. කාන්තා පිරිමි දෙපිරිසටම හට ගත හැකි මේ මානසික ආබාධය ඇතැම් අවස්ථාවලදී වෙනත් කායික රෝගයක ලක්ෂණයක් ලෙසින්ද හට ගැනීමට ඉඩ තිබේ. අපස්මාරය, හිසට තදබල පහරක් වැදීම හෝ අනතුරක් සිදුවීමෙන් මොළයට හානි වීම, මොළයේ ඇතිවන ආසාදන වැනි රෝග තත්ත්වයන් මීට උදාහරණ වන අතර මෙහිදී ව්‍යාධික මුසාවාදය තත්ත්වය හට ගන්නේ එවැනි රෝගයකදී පසුකාලීනව ඇතිවන සංකූලතාවයක් ලෙසිනි.මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අසත්‍ය පැවසීමේ අවකාශය වැඩිය. නමුත් කලාතුරකින් එම පවසන දේවල්වල සත්‍යයේ ඡායා මාත්‍රයක්ද තිබිය හැකිය. ඒ කෙසේ වුවද මෙසේ පවසන්නේ රෝගියා විසින් සිතින් මවා ගන්නා ලද දේවල්ය. එහිදී අනෙක් අයගෙන් මීට යහපත් ප්‍රතිචාර ලැබේ නම් රෝගියා තමන් පවසන දෙයට තව තවත් බොරු ගොතා විස්තර කරන්නට පෙළඹෙනු ඇත. මෙවැනි අය රහතුන් ලෙස සලකමින් අනුගාමිකයන් එකතු වන අවස්ථාද තිබේ. ඒ ඔවුන් කියන බොරු විශ්වාස කිරීම නිසාය.ඕනෑම බොරුවක් පසු කලෙක හෙළි වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ අනුව තමන් කියන බොරුද හෙළිවී ලජ්ජාවට පත් වන්නට සිදුවූ විට ටික කලක් මේ රෝගීන් නිහඬව හිඳින්නට පුළුවන. නමුත් ඉන්පසු නැවතත් පෙර ලෙසම බොරු කියන්නට පෙළඹෙනු ඇත.

ඉහත ද කී පරිදි මේ රෝගීන් බොරු කියන්නට පෙළඹෙන්නේ ලාභයක් හෝ වාසියක් තකා නොව ඔවුන් එසේ බොරු කීම තුළින් ආශ්වාදයක් ලබන නිසාය.මේ මානසික ආබාධයට බෙහෙවින් සමාන තවත් මානසික ආබාධයක් තිබේ. ඒ ව්‍යාජ මතක ආබාධයයි. (False memory syndrome)මේ අය තමන් සිතේ මවා ගත් දේවල් සත්‍ය බවට 100ක්ම විශ්වාස කරති. ඒ අනුව ඒවා සත්‍ය ලෙසට අනෙක් අයට පවසන්නටද පෙළඹෙති. එසේ වන්නේ එවැනි දෙයක් සත්‍ය වශයෙන්ම සිදුවූ බවට මතකයක් ඔවුන් තුළ තිබෙන නිසාය. නමුත් එය ව්‍යාජ මතකයකි. නමුදු එය ව්‍යාජ මතකයක් බව රෝගියා දන්නේ නැත.පෞරුෂත්වයේ විවිධ ඌනතාවයන් ඇති අයගේ ව්‍යාධික මුසාවාද රෝග තත්ත්වය බොහෝවිටම දැකිය හැකිය. සමාජ විරෝධී පෞරුෂත්වය (Anti social personality) ඇති අයගේද මෙම රෝග තත්ත්වය හට ගැනීමට අවකාශ ඇත. මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් මේ රෝග තත්ත්වය සුව කළ හැකි වුවත් රෝගියා ආවේගශීලී හැසිරීම් පළ කරන්නේ නම් ඖෂධ ප්‍රතිකාරද ලබා දීමට සිදුවිය හැකිය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතාගේ ලිපියක් ඇසුරිනි.

0 comments:

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.