-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

අසාමාන්‍ය මානසික තත්ත්ව හදුනා ගනිමු

♠ Posted by ආලෝකය at 8:19 PM
අන් අයගේ අවධානය දිනා ගැනීමට අසාමාන්‍ය ලෙස හැසිරීමත් මන්ද මානසික තත්ත්වයක් විය හැකි බව ඔබ දන්නවද
 
කායිකව හෝ මානසිකව හෝ කායික මානසික දෙආකාරයෙන් ම හෝ ජීවිත කාලය පුරා බලපවත්නා දුබලතා සංවර්ධනාත්මක ඌනතා රෝග හෙවත් මන්ද මානසික තත්ත්වය ලෙස හැඳින්විය හැකිය.කළල අවධියේ සිට හෝ උපතට පසු හෝ ළමා වියේදී හෝ මේ ඌනතා ලක්‍ෂණ නිරූපණය විය හැකි අතර වයස අවුරුදු 18-22 අතර කාල සීමාවේදි පුද්ගලයෙකු සංවර්ධනාත්මක ඌනතා රෝගයකින් පෙළෙන්නේ ද යන්න තහවුරු කර ගත හැකිය.

ඒ සඳහා ඇගයීමට ලක් කළහැකි සාධක කිහිපයකි.

* ස්වාධීනව ජීවත් වීමේ හැකියාව.
* තම ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේ හැකියාව.
* ඉගෙනුම පිළිබඳ කුසලතාව හා බුද්ධිය මෙහෙයවීමේ හැකියාව.
* හැසිරීම සහ කායික චාලක කි‍්‍රයාකාරීත්වය ස්වාධීනව පවත්වා ගැනීමේ හැකියාව.
* භාෂාවක් භාවිතයෙන් අන්තර් පුද්ගල සන්නිවේදනය පවත්වා ගැනීමේ හැකියාව.
* පෞද්ගලික දෛනික කටයුතු හා පවිත‍්‍රතාව, පෙනුම පවත්වා ගැනීමේ හැකියාව.
* තම කි‍්‍රයාකාරකම් හා සාමාජීය දායකත්වය පිළිබඳ ස්වයංතීරණ ගැනීමේ හැකියාව. සමස්ත ජනගහනයෙන් සියයට 3 ක ප‍්‍රතිශතයක් සංවර්ධනාත්මක ඌනතා රෝග වලින් පෙළෙන බව සොයාගෙන ඇත.


මන්ද මානසික හෙවත් සංවර්ධනාත්ම ඌනතා රෝග පුද්ගලයෙකු උපත ලැබීමට පෙර ඇති වන හේතු, කළල අවධියේදී ඇති වන හේතු, උපතේදී හා උපතින් පසු ජීවිතයේදී බලපාන හේතු මත හටගනී.

උපතට පෙර

ගැබිණි මවක වයස අවුරුදු 40 පමණ ඉක්මවූ විට ජනනය වන ඩිම්බවල වර්‍ණදේහ ව්‍යුහාත්මක විසමතාවන්ට ලක් වීමෙන් උපදින දරුවන් මන්ද මානසික වීමේ අවදානමක් ඇත.මව මත්පැන්, මත්කුඩු, අනුමැතියකින් තොරව ඇතැම් ඖෂධ භාවිතයට ගැනීම, විස රසායන ද්‍රව්‍ය හා විකිරණයන්ට සුලභ නිරාවරණය වීම වැනි සාධක ද මන්ද මානසික දරුවන් බිහිවීමට හේතුකාරක වේ.ජර්මන් සරම්ප (රුබෙල්ලා), ඒඩ්ස් වැනි රෝගවලට මව ගොදුරු වීම, මව ප‍්‍රමාණවත් සමතුලිත පෝෂණයක් නොලැබීම, කළල බන්ධය ඔස්සේ (අපරාව) මවගෙන් දරුවාට සැපයෙන රුධිර සැපයුමෙහි අවහිරවීම්, කළලයට බලපෑමක් වන තරමේ කායික අනතුරුවලට මව ලක්වීම හා මව මානසික හා චිත්තවේගීය අසහනකාරී පසුබිමක ජීවත්වීම ද මන්ද මානසික දරුවන් බිහිවීමට හේතුවේ.

උපතේදී

නොමේරූ ළදරුවෙකු ලෙස නිසි කාල සීමාව සම්පූර්ණවීමට පෙර ප‍්‍රසූත වීම. කළල බන්ධය ඔස්සේ ඔක්සිජන් සැපයුම නතර වී ස්වයං ස්වසනය ආරම්භ වීම අතර කාල පරාසය වැඩිවීම (ස්වසන මාර්ග අවහිරතා), පිත්වර්ණක මොළයේ ගැන්ග්ලියා තුළ තැම්පත් වීම හා උපත සිදුකිරීමේදී භාවිතා කරන උපකරණ හා ක‍්‍රමවේදය හේතුවෙන් මොළයට වන අනතුරු යන හේතුමත දරුවෙකු උපතේදී මන්ද මානසික තත්ත්වයට ලක්විය හැකිය.

උපතට පසු

ළදරු අවධියේ ප‍්‍රමාණවත් පෝෂණයක් නොලැබීම. ප‍්‍රමාණවත් පරිදි මවුකිරි මුල් මාස 6 දී ලබා දීමෙන් එම කාල සීමාවේ පෝෂණය ප‍්‍රමාණවත් පරිදි පවත්වා ගත හැකිය. උපතින් පසු මධ්‍ය ස්නායු පද්ධතියට හානිවන පරිදි අනතුරු වලට ලක්වීම, මෙනින්ජයිටිස් එන්සෙෆලයිට්ස් රෝගවලට ගොදුරුව නිසි ප‍්‍රතිකාර නොලැබීම, ඊයම් වැනි රසායන ද්‍රව්‍ය හෝ අනුමැතියකින් තොර ඖෂධ භාවිතයෙන් වන රසායනික විසවීම් හා තීව‍්‍ර මානසික අසහනකාරී තත්ත්වයන් වන නොසලකා හැරීම, හිංසනය, මව පියා වියෝවීම වැනි හේතු මතද දරුවන් මන්ද මානසික තත්ත්වයට ලක්විය හැකිය.වර්ණදේහ ආකෘතිවල වන විකෘතිතා හේතුවෙන් අසාමාන්‍ය පිළියෙල වීමේ හේතුවෙන් මන්ද මානසික රෝග තත්ත්ව රැසක්ම ඇතිවිය හැකිය.ශරීර අභ්‍යන්තර ජෛව රසායනික කි‍්‍රයාකාරිත්වයේ අසාමාන්‍යතා හෙවත් පරිවෘත්තීය විසමතා ඇති වීමෙන් ද මන්ද මානසික තත්ත්වය හටගනී.

මීට අමතරව සමාජීයව හා පවුල් පරිසරය තුළ ගුණාත්මක සබඳතා, පිළිගැනීම්, අගයකිරීම් හා මඟ පෙන්වීම් නොලැබීම හා ආදරය රැකවරණය ප‍්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් අන් අයගේ අවධානය දිනා ගැනීම වෙනුවෙන් දක්වන චර්යා අසාමාන්‍යතා ද මන්ද මානසික රෝග කායික වර්ධනය හා සමගාමීව මානසික සංවර්ධනය ද සිදුවේ. වයසත් සමඟ පුද්ගලයෙකු එසේ නිරූපණය කරන හැකියාවන්, දක්ෂතාවයන් හා හැසිරීම් රටා මත අන්තර් පුද්ගල සන්නිවේදනය හා සමාජ සබඳතා ගොඩනැගේ.

එක් එක් වයස් කාණ්ඩවලදී පුද්ගලයෙකු තුළ වැඩිදියුණු කරනු ලබන කායික, වාචික, චර්යාත්මක හා මානසික කි‍්‍රයාකාරකම් මත පදනම් වූ දර්ශක මගින්, බුද්ධි ඵලය ගණනය කෙරේ.බුද්ධි ඵලය 69% සිට 55% දක්වා සංවර්ධනාත්මක ඌනතා පෙන්වන කාණ්ඩය ලෙස සැලැකේ. මූලික මට්ටමේ කියවීම, ලිවීම හා ගණනය කිරීමේ හැකියාවන් වැඩිදියුණු කළ හැකි මේ දරුවන්ට විශේෂිත අධ්‍යාපනයක් ලබාදීම අවශ්‍යවේ. ශ්‍රේණි කිහිපයක් දක්වා පාසල් අධ්‍යාපනය ලබා ගනී. ස්වාධීනව ජීවත්විය හැකි පිරිසක් වන මොවුන් අධීක්ෂණය යටතේ යම් සරල රැකියාවක නිරත වීමට හැකියාවෙන් යුක්ත වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ විශේෂිත හැකියාවන් හඳුනාගෙන දිරිගැන්වීමක්, මඟපෙන්වීමක් හා පහසුකම් සැලැසීමෙන් ගුණාත්මක නිර්මාණ බිහිකළ හැකිවේ.

මධ්‍යස්ථ ලෙස සංවර්ධන ඌනතා ඇති පුද්ගලයින් ලෙස ගැනෙනුයේ බුද්ධි ඵලය 54% සිට 40% දක්වා වූ පිරිසයි. මෙම දරුවන්ට තම දෛනික කටයුතු සිදුකරගැනීමට (ස්නානය, රෙදි සේදීම, නිවස පවිත‍්‍රව තැබීම, දත් මැදීම, උපකරණ අසුරා තැබීම වැනි) හා සමාජීව සබඳතා පවත්වා ගැනීම පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් හා හැකියාවක් ඇත. ලිවීම, කියවීම පිළිබඳ ඇතැම් විට පුහුණු කළ හැකි අතර අත්‍යවශ්‍ය විශේෂිත වචන මූලික ගණනය කිරීම් පුහුණු කළ හැකි වෙයි. අධීක්ෂණය යටතේ යම් පිරිසක් හෝ පුද්ගලයෙක් සමඟ සරල රැකියාවක නිරත වීමට හුරු කළ හැකියි.39% සිට 25% දක්වා වූ බුද්ධි ඵලයකට හිමිකම් කියන දරුවන් තීව‍්‍ර සංවර්ධනාත්මක ඌනතාවන්ගෙන් පෙළෙන දරුවන් ලෙස හැඳින්විය හැකිය. තම දෛනික පවිත‍්‍රතා කටයුතු ආහාර ගැනීම, වැසිකිළි භාවිතය හා පෙනුම පවත්වා ගැනීම වැනි මූලික කටයුතුවලදීත් යම් කි‍්‍රයාකාරකමක යෙදවීමේදීත් සමීපතම කෙනෙකු හෝ පිරිසකගේ සහය අවශ්‍ය වේ.

මානසික හා කායික අවශ්‍යතා හෝ ගැටලු හඳුනාගෙන තීව‍්‍ර තත්ත්වයේ සංවර්ධන ඌනතා පවතින දරුවන් රැක බලා ගැනීමට ඔවුන් මනාව තේරුම්ගත් පුද්ගලයකු හෝ පිරිසක් අත්‍යවශ්‍ය වේ. ඊට හේතුව තම අදහස් පළකිරීමට ඔවුන් භාවිතා කරන ක‍්‍රමවේදය ඔවුන්ටම පමණක් විශේෂිත වූ ක‍්‍රමයක් විය හැකි බැවිනි.ප‍්‍රමාණවත් පෝෂණය, ව්‍යායාම හා මානසික සහනය ලබාදී කායිකව හටගන්නා රෝග කල් ඇතිව හඳුනා ගෙන ප‍්‍රතිකාර ලබාදීමෙන් ඔවුන්ට ද පී‍්‍රතිමත් ජීවිතයක් ගතකිරීමට අවකාශය සලසා දිය හැකිය.අතිශය තීව‍්‍ර තත්ත්වය මන්ද මානසික හෙවත් සංවර්ධනාත්මක ඌනතා සහිත දරුවන්ගේ බුද්ධි ඵලය සියයට 25 ට අඩු අගයක් ගනී. කෑම ගැනීම, වැසිකිළි යෑම, පවිත‍්‍රතාවය පවත්වා ගැනීම වැනි සියලු පුද්ගල අවශ්‍යතා සඳහා ඔවුන්ට අන් අයගේ සහාය අත්‍යවශ්‍ය වේ.සුපරීක්ෂාකාරීව ඔවුන්ගේ සංඥා ක‍්‍රම ඔස්සේ අවශ්‍යතා, ගැටලු හඳුනා ගෙන සත්කාර කිරීම හා කායික රෝග කල් ඇතිව හඳුනාගෙන ප‍්‍රතිකාර ලබා දීමෙන් මෙන්ම ප‍්‍රමාණවත් ව්‍යායාම ලබාදීමෙන් වැඩි කාලයක් ජීවත් වීමට අවස්ථාව සලකා දිය හැකියි. කාරුණික වචන හා ආදරණිය සත්කාරය ඔවුන් මානසිකව සතුටින් තැබීමට හේතු වේ.තීව‍්‍ර සංවර්ධන දුබලතා සහිත දරුවන් තම සෞඛ්‍ය ගැටලු ප‍්‍රකාශ කිරීමට ඇති නොහැකියාව නිසාත් රෝග විනිශ්චය පරීක්ෂණ මඟින් රෝග හඳුනා ගැනීමට නොහැකි වීම නිසාත් සෘජුව කායික රෝගවලට ප‍්‍රතිකාර ලැබීම දුෂ්කර වේ. ඒ අනුව අදාළ ප‍්‍රතිකාර කඩිනමින් ලබා ගැනීමට නොහැකි විය හැකි අතර ඔවුන්ගේ මානසික ගැටලු හඳුනා ඊටත් වඩා දුෂ්කර කර්තව්‍යයකි.

මන්ද මානසික (සංවර්ධනාත්මක ඌනතා සහිත) දරුවන් අතරින් සමහරු ශ‍්‍රවණ සහ දෘෂ්‍ය දුබලතාවලින් ද, අපස්මාර රෝගයෙන් ද, විෂාදයෙන් පෙළෙති.මන්ද මානසික ප‍්‍රජාව වෙනුවෙන් අපට කළ හැකි දේ බොහෝය. එම දරුවන් තම පවුල තුළ හා සමාජයේදී සැලැකිය යුතු ගැටලු රැසකට මුහුණ දේ. සමාජීයව ඔවුන් තුළ පවතින අසාමාන්‍යතා, හැසිරීම් විසමතා හා සන්නිවේදන ගැටලු ඊට හේතු වේ.එහෙත් බුද්ධිමත් පුරවැසියන් ලෙස අප මන්ද මානසික පුද්ගලයින් පිළිබඳ නිසි පරිදි දැනුවත්ව ඔවුන්ට සහය වීමට ඉදිරිපත් වේ නම්, ඔවුන් කෙරෙහි සානුකම්පිතව හිතන්නේ නම් එය සමාජීය ගැටලුවක් නොවනු ඇත.නිරන්තරවම බැණ වැදීම්, පහරදීම්, හෑල්ලුවට ලක්කිරීම, සමච්චලයට ලක්කිරීම මන්ද මානසික පුද්ගලයින් සමාජීයව මුහුණ දෙන ගැටලු සමහරෙකි. ඊට අමතරව නිසි පරිදි ආහාර නොලැබීම, දඬුවම් දීම, නොසලකා හැරීම, ගසා කෑම්, වංචාවලට ලක්වීම, නිසි වේලාවට අවශ්‍යතා ඉටු නොවීම ද දෛනිකව ඔවුන් මුහුණ දෙන ගැටලු රැසකි. ලිංගික අපයෝජනයට ලක්වීම, මෙන්ම පවතින නීතිමය තත්ත්වයන් තුළ ද නිරන්තර අත්අඩංගුවට පත්වීම, සිරගතවීම මන්ද මානසික පුද්ගලයින් මුහුණ දෙන තවත් ගැටලු කිහිපයෙකි.

කායික, මානසික, චිත්තවේගීයව හා සමාජීයව මෙම පුද්ගලයින්ම එල්ල වෙන අභියෝග හේතුවෙන් ඇතැම් අය ප‍්‍රචණ්ඩකාරී, සමාජ විරෝධී හැසිරීම් ලක්ෂණ පෙන්වන්නටත් ඇතැම් පුද්ගලයින් ආත්ම අභිමානය, ආත්ම විශ්වාසයෙන් තොර දුබල පුද්ගලයින් ලෙසත් සමාජය තුළ දී දැකිය හැකිය.දරුවෙකු මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බව හඳුනා ගත් විට, එම දරුවා කෙලෙස පුනරුත්ථාපනය කළ හැකි ද? යන්න විමසා බලා, වැඩිදියුණු කරගත හැකි කුසලතාවන් හඳුන්වා දී හැකි උපරීම පරිදි ස්වාධීනව පිටත්වීමට අවශ්‍ය මඟ පෙන්වීමෙන් දරුවා සමාජය තුළ කරදරකාරී චරිතයක් හෝ මව්පියන්ට බරක් නොවී රටට ඵලදායි, මනා පෞරුෂත්වයකින් ද යුත් සමාජය තුළ ඵලදායි පුද්ගලයෙක් බවට පත්කළ හැකියි.
( අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හෙද නිලධාරි රෝහණ විජේසිංහ මහතාගේ ලිපියක් ඇසුරිනි)

2 comments:

මනෝවිද්‍යාව පිළිබද කිසියම් කරුණු පෙළක් සිංහලෙන් ඉගෙන ගැනීමට මෙම ලිපි ඉතා වැදගත්.

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.